කාන්තාවන් ගේ සහ දරුවන් ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නීතිය මීට වඩා කාර්යක්ෂම විය යුතුයි - අගමැතිනිය

කාන්තාවන් ගේ සහ දරුවන් ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නීතිය මීට වඩා කාර්යක්ෂම විය යුතුයි - අගමැතිනිය

කාන්තාවන් සහ දරුවන් ගේ ආරක්ෂාව තහවුරු කිරීමට නම් නීතිය මීට වඩා කාර්යක්ෂම විය යුතු බවත්, ඇරඹූ වෙනස ඉදිරියට ගෙන යෑම සඳහා කාන්තාවන්ද  ඉදිරියට පැමිණිය යුතු යැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවා ය.

අග්‍රාමාතළුරිය මෙම අදහස් පළ කළේ  මන්නාරම, අඩම්බල් ප්‍රදේශයේ පෙබරවාරි 15වන දා පැවති  මන්නාරම් දිස්ත්‍රික් කාන්තා හමුව අමතමිනි. 

එම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැතිනිය...

 

එකිනෙකා අතර අසමගිය ඇති කරන්න ජාතිවාදී කඳවුරු තවමත්  උත්සාහ කරනවා

''ඔබ දන්නවා අපේ රජය කාන්තා නියෝජනයට වෙනසක් ගෙනාවා.  සංඛ්‍යා ලේඛන අනුව ජනගහනයෙන් 52% විතර ඉන්නේ කාන්තාවන්. ඒ කියන්නේ අපේ රටේ ජනගහනයෙන් බලයක් තියන පිරිසක්.  නමුත්  විවිධ ක්ෂේත්‍ර ගත්තම, ජීවිතයේ මුහුණ දෙන ගැටලු  ගත්තම ඒ බලය අපිට ප්‍රායෝගිකව තියනව ද කියන එක ගැටලුවක්. අපේ රටේ තිබුණ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි යුද්ධය, ප්‍රචණ්ඩත්වය. අපි එකිනෙකා දිහා අවිශ්වාසයෙන් බැලුවේ. ඇත්තටම අපි බෙදුණු රටක් වුණා යුද්ධය නිසා. ඒ හේතුවෙන් වැඩිපුරම ගැටලුවලට මුහුණ දුන්නේ කාන්තාවන්.

 

අපි දන්නවා රටේ බහුතරයක් කාන්තාවන් අම්මා, තාත්තා, පුතා, දුව,සහෝදර, සහෝදරියන් නැතුව දුක් විදිනවා. මේ ප්‍රදේශයේ එහෙම දුක් විදින බොහෝ කාන්තාවන් ඉන්නවා කියලා අපි දන්නවා. යුද්ධය අවසන් වී බොහෝ කල් වුණත් ඒ සාමය හදවත් තුළ අදටත් නැහැ. තවමත් කාන්තාවන් ඉන්නවා තමන්ගේ පවුලේ අයට මොකක්ද වුණේ කියලා හොයා ගන්න බැරුව. තනියම තම පවුල රැක ගන්න මහන්සි වෙන බොහෝ කාන්තාවන් ඉන්නවා. අපේ රජය ජාතිවාදයට එරෙහිව ලොකු සටනක් ගෙනියනවා. මේ රටේ සියලු දෙනාට ආරක්ෂිතව, සමාන අයිතීන් ඇතිව ජීවත්වෙන්න අවශ්‍ය බව අපි දන්නවා. නමුත් තාමත් ජාතිවාදී කඳවුරු  උත්සාහ කරනවා එකිනෙකා අතර අසමගිය ඇති කරන්න. ඒ අයට දූෂණය නතර කරලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න, නීතිය සමානව ක්‍රියාත්මක කරන්න, ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය නැහැ. ඒ අයට අවශ්‍ය බලය ලබා ගැනීම පමණයි. ඒ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් නෙමයි ඔවුන් වෙනුවෙන් පමණයි.

 

ජාතිවාදයෙන් වැඩිපුර ම බැට කෑවෙ කාන්තාවන්

ඔවුන් මේ රටේ සම්පත් කොච්චර විනාශ කළා ද කියලා අපි දන්නවා. 2022 විශාල ආර්ථික කඩා වැටීමකට රට මුහුණ දුන්නා. නමුත් 2025 වන විට අපේ රජයට පුළුවන් වුණා හොරකම, දුෂණය, නාස්තිය නතර කරලා  ආර්ථිකය ශක්තිමත් කරන්න. ඒ නිසා අපිට දිත්වා සුළිකුණාටුව ඇති වූ අවස්ථාවේ කාටවත් ණය නොවී ජනතාවට උදව් කරන්න  හැකි වුණා. පසුගියදා අවුරුදු 21කට පසු කිරි ගොවියන්ට මිල්කෝ ආයතනයේ ලාභය බෙදා දෙන්න පුළුවන් වුණා. වසරක පමණ කාලයක් තුළ ආදායම් මාර්ග වැඩි කරලා ආයතනවල නාස්තිය අවම කරලා ලාභය බෙදා දෙන්න පුළුවන් වුණා. කඩා වැටුණු ආයතන නැවත ගොඩනගලා වංචාව, දූෂණය නතර කරලා දේශපාලකයින් ගේ නාස්තිය නතර කරලා ඒ ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා. එහෙම ගොඩනගන රට ජාතිවාදය අවුස්සලා ආපස්සට ගෙන යන්න සමහරු කටයුතු කරනවා. ජාතිවාදයෙන් බැටකාපු ප්‍රධාන කොටසක් තමයි කාන්තාවන්. අපි ආපහු බෙදලා අසමගිය ඇති කරන්න ඉඩ දිය යුතුද? නැහැ නේද ඒකට කාන්තා නායකත්වය අවශ්‍යයි. අපි පටන් ගත්ත වෙනස ඉදිරියට ගෙනියන්න කාන්තා ඔබත් ඉදිරියට එන්න. අපිට කරන්න තව ගොඩාක් වැඩ තිබෙනවා. ඉදිරියට යන ගමන ආපස්සට ගන්න අපි ඉඩ දෙන්නේ නැහැ.

 

නීතියේ ආරක්ෂාව නිවැරදිව ක්‍රියාත්මක නොවන තැන් තවම තියනවා

අපි මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි  මත්ද්‍රව්‍ය,  අපේ දරුවන් ඒකට ගොදුරු වෙයි කියලා අපි බයෙන් ඉන්නේ. මේ නිසා පවුල් ආරවුල් ඇති වී තිබෙනවා. පාරේ යන්න, ගෙවල් වහලා දාලා  යන්න බයක් තියනවා මේ මත් ද්‍රව්‍ය වලට ඇබිබැහි වුවන් නිසා. ජනාධිපතිතුමා විශේෂයෙන් පොරොන්දු වෙලා තිබෙනවා විෂ මත්ද්‍රව්‍ය රටින් තුරන් කරන්න. මෙච්චර කල් බලයේ හිටපු අය ඒ අයට ආරක්ෂාව ලබා දුන්නා. පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන්න අවස්ථාව නැති වුණා. නමුත් අද පොලිසියට අපි උපදෙස්  දීලා තියනවා නීතිය හරියට ක්‍රියාත්මක කරන්න කියලා. අද පොලිසියට හරියට රාජකාරිය කරන්න පුළුවන් වෙලා. අධිකරණය ස්වාධින තීන්දු තීරණ ගන්නවා. වැරදි කළොත් දඩුවම් ලැබිය යුතුයි; නීතිය හැමෝටම එකයි. නීතියේ ආරක්ෂාව නිවැරදිව ක්‍රියාත්මක නොවන තැන් තාම තියනවා කියලා අපි දන්නවා. ප්‍රචණ්ඩත්වයට, හිංසනයට ලක්වෙන කාන්තාවන්, දරුවන් තාම ඉන්නවා. කාන්තාවන් සහ දරුවන් ගේ ආරක්ෂාව තහවුරු කරන්න නීතිය මීට වඩා කාර්යක්ෂම විය යුතුයි. අපි අධිකරණ ප්‍රමාණය වැඩි කරලා එවැනි නඩු ඉක්මනින් අවසන් කරන්න කටයුතු කරමින් යනවා.

 

ලොකු පාසල්, පොඩි පාසල් කියලා භේදයක් නැහැ

දරුවන්ගේ අධ්‍යාපනය ගැන විශ්වාසය තියලා අම්මලා ගොඩාක් මහන්සි වෙනවා. ඒ නිසා තමයි අපි සියලු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් දෙන්න කටයුතු කරමින් යන්නේ. වසර පහකට පසු මේ වසරේ අපි උපාධිධාරී ගුරුවරුන් බඳවා ගන්නවා. අනිවාර්යෙන් ඒ ගුරුවරුන් පුරප්පාඩු තියන පාසල්වලට එවනවා. විදුහල්පතිවරු හරියට පත්කර තිබුණේ නැහැ. මේ සියලු පුරප්පාඩු පුරවන්න අපි ගිය වසරේ සිට ආරම්භ කළා. ඒ සමග පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කරන්න කටයුතු කරමින් යනවා. ලොකු පාසල්, පොඩි පාසල් කියලා භේදයක් නැහැ හැම පාසලකම ඉන්නේ අපේ ළමයි. අපි සෑම කොට්ඨාසයක ම එක පාසලක් දියුණු කරනවා. ඒ පාසල නම් කරලා එවන්න කියලා දිස්ත්‍රික සංවර්ධන කමිටුවලට දැනුම් දීලා තිබෙනවා. සෑම ද්විතීයික පාසලකට ම smart class Room එකක් හදන්න අපි කටයුතු කරමින් යනවා. ඒ සමග මේ වසරේ සිට පළමු වසරට  නව විෂය මාලාවක් යටතේ අධ්‍යාපනය ලබා දෙන්න ආරම්භ කළා.

 

අපි බලයට පත්කළේ මේ රට හදන්න. අපි ඒක කළ යුතුයි. ආර්ථිකය තුළත් වැඩියෙන් වැඩ කරන්නේ කාන්තාවන්. නමුත් අඩුම පඩියක් ලැබෙන්නේ කාන්තාවන්ට. සියලු ක්ෂේත්‍රවල ඉහළ ප්‍රගතියක් කාන්තාවන් ලබාගෙන තිබෙනවා. ඒ නිසා ගෙදර සිට ස්වයං රැකියාවක් කිරීමට  හෝ රැකියාවක නිරත වනවිට දරුවන් ආරක්ෂාකරන තැන් නිර්මාණය විය යුතු යි.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගදීෂ්වරන් මහතා ඇතුළු නගරසභා, ප්‍රාදේශිය සභා මහජන නියෝජිතයින්, කාන්තාවන්  විශාල පිරිසක් සහභාගී වූහ.''

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

harini3

Search