ජනපති අනුර හෙට ඉන්දියාවට

ජනපති අනුර හෙට ඉන්දියාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ විශේෂ ආරාධනය අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක  AI Impact Summit 2026  සඳහා සහභාගි වීමට හෙට (17) පස්වරුවේ  ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන 19 වන දා සමුළුව ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

දින 05ක් පුරා පැවැත්වෙන සමුළුව සඳහා රටවල් 20ක රාජ්‍ය නායකයන් සහ රටවල් 45කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් සහභාගි වීමට නියමිතව ඇත.

එමෙන්ම, මෙම සමුළුවේදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ අනාගත ගමන්මඟ සහ ගෝලීය අභියෝග ජය ගැනීමට එය භාවිත කළ හැකි ආකාරය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම ඉන්දියානු සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිත බව සඳහන් වේ.

 

Search