ඉතිහාසයේ සිදු නොවුණ ආකාරයට රට තුළ වංචා දුෂණ සිදුවෙමින් පවතිනවා - අජිත් පී. පෙරේරා

ඉතිහාසයේ සිදු නොවුණ ආකාරයට රට තුළ වංචා දුෂණ සිදුවෙමින් පවතිනවා - අජිත් පී. පෙරේරා

රටේ අල්ලස දූෂණය මැඩීම සඳහා ජාතික ජනබලවේග ආණ්ඩුව කටයුතු කරන බව අනුර දිසානායක ජනාධිපතිවරයා සහ ඇමැතිවරු මැතිවරණ වේදිකාවල දිගින් දිගටම ප්‍රකාශ කළ ද, ඉතිහාසයේ සිදු නොවුණ ආකාරයට රට තුළ වංචා දුෂණ සිදුවෙමින් පවතින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ(15) පැවැති මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ අජිත් පී. පෙරේරා...

 

රජය මැදිහත්වී සිදු කරන විශාලතම ප්‍රසම්පාදන ක්‍රියාවලිය

''රටේ අල්ලස දූෂණය මඩින්න ජාතික ජනබලවේග ආණ්ඩුව කටයුතු කරන බව අනුර දිසානායක ජනාධිපතිවරයා සහ ඇමැතිවරු මැතිවරණ වේදිකාවල දිගින් දිගටම ප්‍රකාශ කළා.  නමුත් ඉතිහාසයේ සිදු නොවුණ ආකාරයට රට තුළ වංචා දුෂණ සිදුවෙමින් තිබෙනවා. ඒ වගේම ලක්විජය බලාගාරය සඳහා මෙට්ට්‍රික් ටොන් මිලියන 1.25 ක ගල් අඟුරු වසරක් සඳහා මිලදී ගැනීමට පවත්වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය රජය මැදිහත්වී සිදු කරන විශාලතම ප්‍රසම්පාදන ක්‍රියාවලිය යි. එම ප්‍රසම්පාදනය ක්‍රියාවලිය  සඳහා විශාල තරගකාරීත්වයක් තිබෙනවා. ඒ වගේම මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා ලැබෙන මිල ජනතාව ගෙනවන විදුලි ඒකකයේ මිලට බලපානු ලබනවා. ඒ වගේම එම ගල් අගුරුවල ගුණාත්මකභාවය ජාතික විදුලිබල පද්ධතියේ ගුණාත්මක භාවයට බලපානු ලබනවා. ඒ වගේම රටේ බලශක්ති සුරක්ෂිතභාවයට බලපානු ලබනවා. ඒ වගේම ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමිතයෙන් යුක්තව නියමිත වෙලාවට සැපයිම සිදුවිය යුතුයි.

 

ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආණ්ඩුවට අවශ්‍ය සැපයුම්කරුවෙකුට

ඒ වගේම ලක්විජය බලාගාරයට ගල් අඟුරු ලබාගැනීමට හැකියාව තිබෙන්නේ වසරේ  මාස 6 ක කාලය දී පමණයි. එවැනි තත්ත්වයක් තුළ නියමිත වෙලාවට ගල් අඟුරු පැමිණිම අත්‍යාවශ්‍යයි. කෙසේ නමුත් ගල් අඟුරු ගෙන්වීමේ ක්‍රියාවලියේ ඇති ගැටලු අවබෝධ කරගෙන 2022 දී ජාතික විගණන කාර්යාලය විසින් අනාගතයේ දී ගල් අගුරු මිලදී ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයට නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. මේ නිර්දේශ රාජ්‍ය මුල්‍ය කාරක සභාව සලකා බලා තිබෙනවා. මෙම විගණන වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස රාජ්‍ය මුල්‍ය කාරක සභාව රජයට නිර්දේශ කර තිබෙනවා. ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්න රජය බැඳි සිටිනවා. නමුත් වර්තමාන රජය මෙම නිර්දේශ අනුගමනය නොකර ගල්අඟුරු ප්‍රසම්පාදන කටයුතු ක්‍රියාත්මක කරන්න කටයුතු කර තිබෙනවා. ඒ වගේම ආණ්ඩුවට අවශ්‍ය සැපයුම්කරුවෙකුට මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය ලබාගැනීමට අවකාශ සැලසිම සඳහා ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ඒ වගේම වර්තමාන බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා දේශපාලන නායකත්වය ලබාදෙනවා. මෙම ප්‍රසම්පාදනය සඳහා අවශ්‍ය ලේඛන සකස් කරනු ලබන්නේ බලශක්ති අමාත්‍යාංශය. ඒ වගේම එම ලේඛන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබන්නෙත් බලශක්ති අමාත්‍යාශය යි. මේ සියලුම ක්‍රියාදාමයන් අධීක්ෂණය කරනු ලබන්නේ බලශක්ති ඇමැතිවරයායි. එම වගකිම්වලින් ඔහුට පැනයෑමට නොහැකියි.

 

ටෙන්ඩරය අත් දැකීම් රහිත ආයතනයකට

ඒ වගේම ගල් අගුරු ගෙන්වන ප්‍රසම්පාදන කමිටුවේ සමාජික සහ බලශක්ති අමාත්‍යාංශයේ තාක්ෂණික අධ්‍යක්ෂකවරයා වන ටී බී කොඩිතුවක්කු මෙම ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් වෙනම වාර්තාවක් ඉදිරිපත් කරනු ලබනවා. ගල් අගුරු ගෙන්වීමේ දී ඇති වී තිබෙන තත්ත්වය, ගල් අගුරු ප්‍රමිතියෙන් තොර බව, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ තිබෙන ගැටලු සහගත බව සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශයේ තාක්ෂණික අධ්‍යක්ෂකවරයා වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් ඇමැතිවරයා මේ සම්බන්ධයේන සැලකිල්ලක් දක්වා නැහැ.  අවසානයේ දී පලපුරුද්දක් නැති, මීට පෙර සහල් ගෙන්වීමක දී චෝදනා එල්ල වුණ, ජාත්‍යන්තර ගල් අඟුරු වෙළඳාම ගැන අද්දැකීම් නැති ආයතනයක් අඩු මිලක් ඉදිරිපත් කර ගල් අඟුරු ටෙන්ඩරය ලබා ගෙන තිබෙනවා. අඩු මිලට ගල් අඟුරු ගත්තත් ලැබෙන්නේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු.  කෙසේ නමුත් විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ ප්‍රමිති අනුගමනය නොකිරීම හේතුවෙන් සැපයුමේ ගුණාත්මකභාවයට, විනිවිධභාවයට ප්‍රශ්නයක් ඇතිවිය හැකි බව අමාත්‍යාංශයේ තාක්ෂණික අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළ දේවල් පිළිබදව ඇමැතිවරයා අවධානය යොමු කළේ නැහැ. ආණ්ඩුවට මෙම නිර්දේශ ක්‍රියාත්මක නොකළේ ආණ්ඩුවට හිතවත් පුද්ගලයෙකුට මෙම ප්‍රසම්පාදනය පිරිනැමිමට අවශ්‍ය නිසයි.

 

පැමිණි නැව් සියල්ලෙහි ගල්අඟුරු ප්‍රමිතිය බාලයි

මේ නිසා නියමිත වෙලාවට ලක්විජය බලාගාරයට ගල් අඟුරු ලැබෙන්නේ නැහැ. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදි නිලධාරින් ලිඛිතව සහ වාචිකව පිළිගනු ලැබුවා. මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන ගල්අගුරු නැව් සියල්ලම බලාපොරොත්තු වෙන ප්‍රමිතියට වඩා අඩුයි.  මෙම පාඩුව අදාල සමාගමට දඩ අයකරලා බේරාගැනීමට හැකි බව ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් ආණ්ඩුය අදාල සමාගමෙන් අය කරන දඩය සහ මේ හරහා සිදුවන පාඩුව අතර විශාල පරතරයක් තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීම නිසා නිෂ්පාදනය වන බලශක්තියේ ප්‍රමාණයත් අඩු වෙලා තිබෙනවා. ඒ අඩුවන බලශක්ති ප්‍රමාණය ඩිසල් විදුලිබලාගාරවලින් අධික මිලක් වැය කර ලබා ගැනීමට සිදුව තිබෙනවා. කෙසේ නමුත් නියමිත ගල් අගුරු ප්‍රමාණයට ලංකාව නොපැමිණියහොත් ලක්විජය බලාගාරය ක්‍රියාත්මක වීම යම් කාලයකට නතර කිරිමට සිදුවෙනවා.

 

සෘජු විදුලි ජනන අලාභය රුපියල් මිලියන 2796ක්

ඒ වගේම හදිසි ගල් අඟුරු මිලදී ගැනීමක් සිදුකරන බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා.  හදිසි මිලදී ගැනිම් කරන්න සිදුවන්නේ වැඩි මිලකට. ඒ අනුව හදිසි මිලදි ගැනිම් සිදුකළහොත් විදුලි ඒකකයකට වැඩි මිලක් රටේ ජනතාවට ගෙවන්න සිදුවෙනවා. ඒ වගේම මෙම ක්‍රියාවලිය පිළිබඳව බලශක්ති අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා.  ඒ අනුව දැනට ගල් අඟුරු නැව්  හතරක් පැමිණ තිබෙනවා. ඒ අනුව ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය හේතුවෙන් සෘජු විදුලි ජනන අලාභය රුපියල් මිලියන 2796ක්. ඒ වගේම මෙම ගල් අඟුරු භාවිතා කිරිම නිසා ලක්විජය බලාගාරයේ යන්ත්‍රවලට විශාල හානියක් සිදුවන බව වාර්තා කර තිබෙනවා. ඒ සඳහා මිලියන 230 ක අමතර පිරිවැයක් වැය වෙනවා.  මුලු ඇස්ත්තමේන්තුගත අලාභය මිලියන 3026 ක් පමණ වෙනවා. ඒ අනුව සැපයුම්කරුගෙන් අය කර ගැනීමට නියමිත දඩ මුදල මිලියන 1037 ක්. පාඩුව සහ අය කර ගන්නා දඩ මුදල අතර පරතරය මිලියන 2000 යි.

 

දින 21ක් බලාගාරය වැසෙයි

ඒ වගේම ලක්විජය බලාගාරයේ ටර්බයින් තල අධික ලෙස රත්වීම හේතුවෙන් අලුත්වැඩියාව සඳහා මිලියන 100 ක මුදලක් වැය වන බව සඳහන් වෙනවා. වායු තාපකය  පිරිසිදු කිරීමට මිලියන 50 ක් වැය වන බව සඳහන් වෙනවා. ලක්විජය බලාගාරයේ යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කිරිම සඳහා දින 21 ක් බලාගාරය වසා තැබීමට සිදුවෙනවා. ඒ වගේම බොයිලේරු නල අලුත්වැඩියාවට මිලියන  10 ක් වැයවන අතර එය අලුත්වැඩියා කිරීමට දින 14 ක් වැය වෙන බව වාර්තා වෙනවා. තාපන මුලද්‍රව්‍ය මාරු කිරිමට මිලියන 70 ක් පමණ වැය වන බවද වාර්තා වෙනවා. මීට පෙර රටට ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙනා නැව් නැවත හරවා යවන්න කටයුතු කළා. ඒ අනුව අමතර සැපයුම් ලබා ගැනීමට කටයුතු කරනු ලැබුවා. එයින් රටට පාඩුවක් සිදුවුණා. නමුත් මෙවර සිදුවී තිබෙන්නේ සුලු පාඩුවක් නෙවෙයි. කෙසේ නමුත් විගණකාධිපතිවරයාගේ වාර්තාව නොසලකා හරිමින් ආණ්ඩුව සිදුකළ දුෂිත ක්‍රියාදාමය නිසා රටට දැවැන්ත පාඩුවක් සිදුවෙලා තිබෙනවා. කෙසේ නමුත්ඉදිරියේදී පැමිණෙන ගල් අඟුරු නැව් ප්‍රමිතියෙන් තොර වුවහොත් මෙම පාඩුව තවත් වැඩි වෙනවා.  මේ තත්ත්වය රටේ බලශක්ති සුරක්ෂිතභාවයටත්, සමස්ත ආර්ථික ක්‍රියාවලියටත් පුරවැසියන්ගේ ජීවිතවලටත් බලපානවා.

 

වගකිව සමස්ත ආණ්ඩුවම භාරගත යුතුයි

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කිරීම හේතුයෙන් ලක්විජය බලාගාරය බරපතල අනතුරකට පත්ව තිබෙනවා. කෙසේ නමුත් ආණ්ඩුව සිදුකළ වරදට වගවීමක් තිබිය යුතුයි. ලක්විජය බලාගාරය වසර පුරා නිසි තත්ත්වයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය වන  ප්‍රමිතියෙන් යුතු ගල්අඟුරු ආනයනය කරන්න කටයුතු කළ යුතුයි. ලක්විජය බලාගාරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුවිශේෂි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. මෙය දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. මෙය රටේ අනාගතය පිළිබඳව ප්‍රශ්නයක්. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ප්‍රශ්නයේ වගකිව සමස්ත ආණ්ඩුවම භාරගත යුතුයි. මෙම වැරදි තිරණය ගෙන තිබෙන්නේ කැබිනට් මණ්ඩලය. ඒ වගේම මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වැරදි තොරතුරු සහ විගණකාධිපතිගේ වාර්තාව නොසලකා හරිමින් කටයුතු කර තිබෙන්නේ බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා. ඒ නිසා මෙම වරදට ආණ්ඩුවේ සියලු ම දෙනා වගකිව යුතුයි. ඒ වගේම බලශක්ති ඇමැතිවරයා ප්‍රසම්පාදන ක්‍රියාවලියකදී සිදුවුණ වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයක්. එම සිද්ධිය සම්බන්ධයෙන් බලශක්ති ඇමැතිවරයාට විරුද්ධව අල්ලස් කොමිසම විමර්ශනයක් සිදුකරනු ලබනවා. එවැනි පුද්ගලයෙක් බලශක්ති ඇමැතිවරයා ලෙස පත් කරන්න ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

පාඩුව ගෙවන්න සිදුවන්නේ රටේ ජනතාවට

විදුලි බල මණ්ඩලයේ පාඩුව විදුලි පාරිභොගිකයන්ගෙන්, විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට වන්දි ගෙනවන් මුදල් අය කරගන්නෙත් විදුලි පාරිභෝගිකයන්ගෙන්.  විදුලි බල මණ්ඩලයට පාඩු වන විට එම පාඩුව අය කරගනු ලබන්නෙ පාරිභෝගිකයන්ගෙන්. ප්‍රමිතියෙන් තොර ගෙන්වන ගල්අඟුරුවලින් සිදුවුණ පාඩුවත් අවසානයේ ගෙවන්න සිදුවෙන්නේ විදුලි පාරිභෝගිකයන්ගෙන්. ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති සහ ආණ්ඩුවේ දුෂණය හේතුවෙන් සිදුවන පාඩුව ගෙවන්න සිදුවන්නේ රටේ ජනතාවට. කෙසේ නමත් ගල්අගුරුවලින් සිදුවන පාඩුව ගණනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසමට පාර්ලිමේන්තුව විසින් දන්වා තිබෙනවා.

 

ආණ්ඩුවේ නොහැකියාව ප්‍රදර්ශනය වෙනවා

රටේ පාතාලය නැති කරන ආකාරය උගන්වන බව ප්‍රකාශ කරලා ජාතික ජන බලවේග ආණ්ඩුව බලය ලබාගත්තා. මත්ද්‍රව්‍ය ජාවාරම රටෙන් සම්පුර්ණයෙන්ම තුරන් කළ බව උජාරුවෙන් යුතුව  ජාතික ජන බලවේග ආණ්ඩුව ප්‍රකාශ කළා. කෙසේ නමුත් පෙර ලෙසම රට තුළ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල ක්‍රියාකාරීන් රට පාලනය කරනවා. ඒ වගේම ඔවුන් කැමැති පිරිස් ජිවත් වනවා ඔවුන් අකමැති පිරිස් මරා දමනවා. නමුත් සියලු අපරාද ජාවාරම් මර්දනය කර තිබෙන බව ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කරනු ලබනවා.  රටේ නීතියේ ආධිපත්‍ය පිළිබඳව වගකීම දරනු ලබන්නේ ආණ්ඩුව නොවන බවත් එමෙන්ම ජිවත්විය යුතු සහ මරාදැමිය යුතු පුද්ගලයන් කරන්නෙත් රටේ සිටින පාතාල සමාජිකයන්ය. මෙම තත්ත්වය මර්දනය කරන්න වර්තමා ජාතික ජනබලවේග ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැහැ. ඒ වගේම සමගි ජනබලවේගය, වෙඩිතැබිම් සහ අනෙකුත් පාතාල ක්‍රියාකාරකම්වලින් මිය යන රටේ පුරවැසියන් සියලු දෙනා සම්බන්ධයෙන් බලවත් කණගාටුව පළ කරනවා. රටේ ආපරාධ මඩින්න ආණ්ඩුව නොහැකි වීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ අප්‍රසාදය පළ කරනු ලබනවා. දක්ෂතාවයක්, ශක්තියක්, නිවැරදි නායකත්වයක් නැති ආයතනයක් බවට ශ්‍රී ලංකා පොලිසිය පත්වී තිබෙනවා. එක් පැත්තකින් රටේ දේශපාලන නායකත්වය දුර්වල වී තිබෙන අතර තවත් පැත්තකින් රටේ ආරක්ෂාව භාර ආයතනවල පරිපාලනය දුර්වල වී තිබෙනවා. කෙසේ නමුත් රටේ පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කරන බවට ජනතාවට ආණ්ඩුව ලබාදුන්න පොරොන්දුව ඉටු කිරීමට ආණ්ඩුවට නොහැකි වී තිබෙනවා.''

 

 

[theleader.lk]

[voicetube]

 

Search