'දවසින් දවස ජනතාවගේ ආරක්ෂාව නැතිවෙමින් යනවා ; පාස්කු ප්‍රහාරයට අදාළ නඩුව සැක කටයුතුයි' - ජන අරගල සන්ධානය

'දවසින් දවස ජනතාවගේ ආරක්ෂාව නැතිවෙමින් යනවා ; පාස්කු ප්‍රහාරයට අදාළ නඩුව සැක කටයුතුයි'  - ජන අරගල සන්ධානය

දවසින් දවස ජනතාවගේ ආරක්ෂාව නැතිවෙමින් යන බව ජන අරගල සන්ධානය පවසයි.


පාස්කු ප්‍රහාරයට අදාළ මේවනවිට පැවැත්වෙන නඩුවට අදාල හැසිරීම සැක කටයුතු බවද එම සංවිධානය පෙන්වා දෙයි.

නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ ඝාතනය වීමත්, පාස්කු ප්‍රහාරයේ නඩු විභාගය ආරම්භ කිරීමත් සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජන අරගල සන්ධානය ඊයේ  (15 ) නුගේගොඩදී මෙම විශේෂ මාධ්‍ය හමුව කැඳවා තිබු අතර එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික නීතිඥ නුවන් බෝපගේ එබව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසිය.

''ආණ්ඩුව මේ ඝාතන සාධාරණීකරණය කරන්න හදනවා ''

" නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳව පසුගිය දවසේ මහ මග ඝාතනය වුනා. මේ ඝාතනය සිදුවුණේ හමුදා මූලස්ථානයට ඉතාම ආසන්නයේ. දැන් මේ ඝාතනයෙන් පස්සේ සමාජයේ කතා බහක් ඇති කරමින් යනවා ඔහු පාතාල කල්ලි නායකයෙක්ට නීති අධාර සැපයූ නිසා ඊට විරුද්ධ තවත් කල්ලියක් විසින් මේ ඝාතනය කාලා කියන එක. හැබැයි අපි දන්නවා මේ ඝාතනය එහෙම කියලා සාධාරණීකරණය කරන්න පුලුවන් කමක් නැහැ. මොකද පසුගිය වසර කිහිපයක් තිස්සේ මේ රටේ පුද්ගලයින් මහමග මරා දැමීම් දවසින් දවස ඉහල යමින් තියනවා. දවසින් දවස ජනතාවගේ ආරක්ෂාව නැතිවෙමින් යනවා.
 
ඒ නිසා ආණ්ඩුවට පුලුවන් කමක් නැහැ පාතල කල්ලි දෙකක සිදුවීමකට ලඝු කරලා මේ සිද්ධිය අමතක කරලා දාන්න. මොකද මේ ආණ්ඩුව බලයට එන්න කලින් මෙවැනි අපරාධ රැළි ඝාතන රැලි නවත්තනවා කියලා ජනතාවට පොරොන්දුවක් වුණා. හැබැයි දැන් ඒ පොරොන්දුව ආණ්ඩුව පැත්තෙන් ඉටු වෙන්නෙ නැහැ. අනිත් පැත්තෙන් අපරාධකරුවන් ගැන අනවශ්‍ය ප්‍රචාරයක් දීම මගින් ආණ්ඩුව කරන්නේ ඔවුන්ව සමාජයේ වීරයන් බවට පත් කිරීම.
 
අපි දැක්කා ඕලුගල කියන පොලිස් නිළධාරියා විසින් සෙව්වන්දි කියන පාතාලයට සම්බන්ධ කාන්තාව අත්තඩංගුවට ගැනීමේ සිද්ධියේදී ආණ්ඩුව මාධ්‍ය හසුරවපු ආකාරය. අනික් පැත්තෙන් අපරාධකරුවන්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කිරීම දවසින් දවස ප්‍රමාද වෙමින් යනවා. ආණ්ඩුව බලයට එන්න කලින් කතා කරපු තාජුඩීන් ඝාතනය ලසන්ත වික්‍රමතුංග ඝාතනය වගේ අපරාධවා පරීක්ෂණ පවා යන්නේ ඉබි ගමනින්. ආණ්ඩුව මේ විදිහට නම් ඉදිරියේදීත් කටයුතු කරන්නේ මේකෙන් වෙන්නේ අපරාධකරුවන් තවදුරත් අපරාධ කරන්න පෙළඹෙන එක.
                               
ඊලග කාරණය තමයි මේ ඝාතනය ගැන සමාජ ගත කරන්න උත්සහ කරන සිදුවීම්වලින් වෙන්නේ තවදුරත් නීතීඥ වෘත්තියේ යෙදන පුද්ගලයන්ට ආරක්ෂාකාරීව තමන්ගේ වෘත්තියේ යෙදෙන්න බැරි වෙන එක. අපි දන්නවා අපරාධකාරයෙක් ද නැද්ද කියන එක අදාළ නෑ මේ රටේ ඕනෑම පුරවැසියෙක්ට නීති සහය ලබා ගැනීමේ අයිතියක් තියෙන්න ඕන. ඔහු අපරාධකරුවෙක්ද නැද්ද කියන කාරණය තීරණය කිරීම අධිකරණමය කටයුත්තක්. එතෙක් නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය අපි ආරක්ෂා කරන්න ඕන.                         

''පාස්කු ඉරිදා නඩුවෙදි ආණ්ඩුවේ සහ පොලීසියේ හැසිරීම ප්‍රශ්න සහගතයි''


දැන් තටමලා තටමලා ඔන්න ආණ්ඩුව තීරණය කරලා තියනවා පාස්කු ප්‍රහාරයට අදාළ නඩුව විමර්ශනය කරන්න. හැබැයි මේ නඩුවෙදි ආණ්ඩුවේ සහ පොලීසියේ හැසිරීම ප්‍රශ්න සහගතයි. මේ නඩුවට අදාළව සැකකරුවන් 24 දෙනෙක් නම් කරලා තියනවා. ඔවුන්ට අදාළව තියන ඡෝදනා ප්‍රමාණය 23,270ක්. ඒ කියන්නේ මේක ඉතාම විශාල සහ බරපතළ නඩු කටයුත්තක්.
 
නමුත් මේ නඩුවේ සැකකරුවන් 24 දෙනාගෙන් දෙදෙනෙකුට හැර අනෙක් සියලු දෙනාටම නීතීඥ සහය නැහැ. මේක ඔවුන් රජයට දැනුම් දුන්නම නීතිපති දෙපාර්තුමේන්තුව කියනවා කමක් නෑ නීතිඥ සහය නැතුව නඩුවට පෙනී ඉන්න කියලා. අපි අහනවා නීතිපති දෙපාර්තුමේන්තුව එහෙමද නඩුවකදි හැසිරෙන්න ඕන. මේ පුද්ගලයෝ වැරදි කලාද නැද්ද කියන එක අධිකරණය තීරණය කරයි. නමුත් එතෙක් සියලු නීතිමය රැකවරණය ලබා ගැනීමේ අයිතිය ඔවුන්ට තියෙන්න ඕන.
 
පාස්කු ප්‍රහාරය වගේම අනෙකුත් අපරාධවලදි පොලීසිය හැසිරුණු විදිහ අපි හොඳට දන්නවා. සමහරවෙලාවට කිසිඳු වරදක් නොකරපු නිර්දෝෂී පුද්ගලයන්ට පහරදීලා බලෙන් ඔවුන්ව වැරදි කරුවන් බවට පත් කරන්න පොලීසිය කටයුතු කරලා තිබුණා. අර සමාජයේ කතාවකුත් තියනවා පොලීසියට වලහෙක් ඕන නම් ඔවුන් කරන්නේ හාවෙක් අල්ලගෙන ඔහු වලහෙක් කියලා පිළි ගන්නකල් පහර දෙන එක. ඒ නිසා අපි වහාම ආණ්ඩුවට කියනවා වහාම මේ සැකකරුවන්ට අවශ්‍ය නීතිමය රැකවරණය සපයන්න කියලා.
 
 
අනික් කාරණය තමයි පාස්කු ප්‍රාහරයට අදාළ නඩුව ගැන බරපතළ ප්‍රශ්න ප්‍රමාණයක් අපිට තියනවා මේ සැකකරුවන්ගේ ලයිස්තුව දිහා ඡෝදනා දිහා බැලුවම පේන්නෙ මොනවහරි දෙයක් හංගන්න රජය පැත්තෙන් කටයුතු කරනවා කියලා. ඒ නිසා අපි හිතනවා පාස්කු ප්‍රහාරයට අදාළ නඩුව පූර්ණ විනිවිද භාවයකින් විමර්ශනය වෙන්න ඕන. අනික් පැත්තෙන් පාස්කු ප්‍රාහරයට අදාළ සියලු දෙනාට නීතියෙන් දඬුවම් ලැබෙන්න ඕන. හැබැයි ඒ දඬුවම් කිරිල්ල උඩින් පල්ලෙන් වෙන්න බැහැ.   
          
දැන් මේ විමර්ශන ආරම්භ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ කාලේ දාපු නඩුවක්. ගෝඨාභය රාජපක්ෂලා පාස්කු ප්‍රාහරයට සම්බන්ධයි කියලා වැඩියෙන්ම ඡෝදනා කලේ මේ ආණ්ඩුව. අපි දන්නවා ජනතාව ගෝඨාභය රාජපක්ෂව එලෙව්වෙත් ඔහුගේ අතින් පාස්කු ප්‍රාහරයට යුක්තිය ඉටු නොවන නිසා. හැබැයි දැන් ඒ විදිහටම තමයි මේ ආණ්ඩුවත් නඩුව අහන්න ලෑස්ති වෙන්නේ. ඒ නිසා හාල්මැස්සෝ ටිකක් අහු වෙලා පාස්කු ප්‍රාහරයේ තෝරු මෝරු ටික දැලෙන් රිංගලා යෑමේ බරපතළ අවදානමක් අපි ඉදිරියේ තියනවා. "

[theleader.lk] 
[voicetube] 

Search