උතුරේ දියත් කළ අවසන් යුද්ධයේදී සිදුකළ වර්ග සංහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට පමුණුවන බවටත්, වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමට පියවර ගන්නා බවටත් පොරොන්දු වූ ජාත්‍යන්තර ප්‍රජාව තවමත් සිය වගකීම ඉටු කර නොමැති බවට චෝදනා කරන යුද වින්දිත දෙමළ මව්වරුන් කල් මරමින් වගකීම් මගහරින ශ්‍රී ලංකාවේ සුපුරුදු උපක්‍රමවලට
ජාත්‍යන්තර ප්‍රජාව ද හසුවී ඇති බවට චෝදනා එල්ල කර තිබේ.
නිදහස් දිනය කළු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් 2026 පෙබරවාරි 4 වැනිදා කිලිනොච්චියේ සහ මඩකලපුවේදී විරෝධතා දියත් කළ උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වෙත යොමු කළ සංදේශයක් මගින් අවධාරණය කර ඇත්තේ දෙමළ ජනතාවට අවසන් දේශපාලන විසඳුමක් ලැබෙන තෙක් ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ අතුරු පරිපාලන යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවයි.
" ඊළාම් දෙමළ ජනයා වන අප සම්ප්‍රදායික නිජබිම, ජාතිකත්වය සහ ස්වයං නිර්ණ අයිතිය හිමි ජාතික ජන කොටසක් බව ලෝකයට නැවතත් ප්‍රකාශ කර සිටිමු. වඩුක්කොඩෙයි යෝජනාව, තිම්පු මූලධර්මය සහ පොංගු තමිල් ප්‍රකාශනය හරහා ඉතිහාසයේ දෙමළ ජනතාවගේ අභිලාෂයන් සාමූහිකව කිහිප වතාවක් ප්‍රකාශ කර තිබුණද, ඊළාම් දෙමළ ජනතාවගේ වාර්ගික ගැටලුවට පිළිගත හැකි ස්ථිර දේශපාලන විසඳුමක් සෙවීම සඳහා නැවත වරක් අපගේ ඒකමතික ප්‍රකාශය අවධාරණය කිරීමේ අවශ්‍යතාවය හඳුනා ගනිමින් අද දින අපි මෙලෙස නැගී සිට එක් රොක් වී සිටිමු," යි එම සංදේශයේ සදහන්ව තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වෙත යොමු කළ සංදේශය මගින් උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් තව දුරටත් අවධාරණය කර ඇත්තේ 1948 වසරේදී ශ්‍රී ලංකාව නිදහස ලැබූ දා සිට බලයට පත් වූ සිංහල පාලකයන් සිංහලයන් අතර දැඩි ජාතිවාදය පෝෂණය කරමින් හා දිරිමත් කරමින් සිටින අතර, දෙමළ ජනතාවට එරෙහි වර්ග සංහාරය සඳහා තම හමුදා බලය යොදා ගැනීම ලෝකයේ රටවල් ද සැලකිල්ලක් යොමු නොකර බලා සිටීම කණගාටුදායක බවයි.
"ස්වයං නිර්ණ අයිතිය මත පදනම් වූ වෙනම නිදහස් දෙමළ රාජ්‍යයක් පිහිටුවීම සඳහා 1976 මැයි 14 වන දින සම්මත කරන ලද වඩුක්කොඩෙයි ප්‍රඥප්තිය පදනම් කරගනිමින්, 1977 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජනතාව පැහැදිලි ජනවරමක් ලබා දෙමින් තම නිදහස් අභිලාෂය ප්‍රකාශ කළ බව ජාත්‍යන්තර ප්‍රජාව අවධානයට ගත යුතුය," යි එම සංදේශයේ සදහන්ව තිබේ.
ලිපියේ පිටපත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල තානාපතිවරුන්ට සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරයා වෙත ද පිටපත් යොමු කර ඇත.
1985 වසරේ භූතානයේ තිම්පු අගනුවර පැවති සාකච්ඡාවලදී දෙමළ නිජබිම, දෙමළ ජාතිකත්වය සහ දෙමළ ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ මූලධර්ම ඒකමතිකව පිළිගත් බව සියලු පාර්ශ්වයන් පිළිගත යුතු බව සිහිපත් කරන එම සංදේශය මගින් 77 වසරකට වැඩි කාලයක් පුරා බලයට පත් වූ සිංහල පාලකයන්ගේ අනුදැනුම මත දෙමළ ජනතාවට එරෙහිව සිදුකළ සහ සිදුකෙරෙමින් පවතින ව්‍යුහාත්මක වර්ග සහාරයේ දිගුවක් ලෙස, 2009 වසරේ සිදුකළ මහා වර්ග හාරය ඇතුළු මිනිස් ඝාතන, ඉඩම් අත්පත් කර ගැනීම්, ලිංගික ප්‍රචණ්ඩත්වය, සංස්කෘතික හා ආර්ථික ව්‍යුහයන් විනාශ කිරීම වැනි ප්‍රචණ්ඩ ක්‍රියා මගින් දෙමළ ජනතාව ජාතියක් ලෙස නැගී සිටීමට අවැසි සියලු ව්‍යුහයන් විනාශ වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ අවධානයට යොමු කර තිබේ.
"2015.02.10 වන දින උතුරු පළාත් සභාවේදී ද පසුව 2015.09.16 වන දින තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාවේදී ද සම්මත කරන ලද දෝෂාරෝපණ යෝජනා මගින්, දිගින් දිගටම රට පාලනය කරන ශ්‍රී ලංකා පාලකයන් විසින් සිදු කරන ලද වර්ග සහාරයන් ලොවට හෙළිදරව් කර ඇති බව අපි සාමූහිකව නැවත වරක් සැමගේ අවධානයට යොමු කරමු."
කල් මරමින් වගකීම් මගහරින ශ්‍රී ලංකාවේ සුපුරුදු උපක්‍රමවලට ජාත්‍යන්තර ප්‍රජාව ද හසුවී ඇති බවට චෝදනා කරමින් උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් අවධාරණය කර ඇත්තේ මුල්ලිවයික්කාල් වර්ග සංහාරයට පසුගිය වසර 17ක කාලයක් තිස්සේ යුක්තිය ඉල්ලා සිටීම සහ මූලික ගැටලු වෙනුවෙන් හඬ නැගීම දෙමළ ජනයාගේ අරගලය බවට පත්ව ඇති බවයි.
"මෙය ස්වභාවික වෙනසක් නොව සැලසුම් සහගතව නිර්මාණය කරන ලද වෙනසක් ලෙස සැලකිය යුතුය. දෙමළ ජනතාවට තමන්ගේ සාධාරණ දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට නොහැකි වන සේ මග අවුරා ඇත. ඔවුන්ගේ ප්‍රධානතම ප්‍රතිපත්තියෙන් බැහැරව සිටීමට ඔවුන්ට බල කර ඇත."
දෙමළ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලෙස දෙමළ ජාතිකවාදය, දෙමළ නිජබිම සහ ස්වයං නිර්ණ අයිතිය පිළිගැනීමෙන් පමණක් ඉහත කී සියලු මර්දනයන් නැවත සිදු නොවන බව සහතික කළ හැකි බව ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට ලක් කරන උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් පහත සඳහන් ගැටළු වහාම විසඳිම සදහා මැදිහත් වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.
ඉල්ලීම්
01. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත මගින් අපගේ ඥාතීන් සෙවීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, සම්පත් භුක්ති විඳීමේ අයිතිය සහ යුක්තිය ඉල්ලා සිටීමේ අයිතිය ප්‍රතික්ෂේප කරනු ලැබේ. මෙම පනත් ඉවත් කළ යුතුය.
02. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය සහ "කිවුල් ඔය ව්‍යාපෘතිය" යන මුවාවෙන් සිදුකරනු ලබන සියලුම ආකාරයේ ඉඩම් අත්පත් කර ගැනීමේ ව්‍යාපෘති වහාම නතර කළ යුතු අතර, අත්පත් කරගත් ඉඩම් ඒවායේ නීත්‍යානුකූල හිමිකරුවන්ට නැවත ලබා දීමට පියවර ගත යුතුය.
03. දෙමළ නිජබිමෙහි ජන සංයුතිය සැලසුම් සහගතව වෙනස් කිරීමේ අරමුණින් සිදුකරනු ලබන සියලුම සිංහල ජනාවාසකරණයන් සහ සැලසුම් සහගත බෞද්ධකරණ ක්‍රියාවලීන් වහාම නතර කළ යුතුය.
04. සියලු දෙමළ දේශපාලන සිරකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කළ යුතුය.
05. ආක්‍රමණශීලීව රැඳී සිටින හමුදාව ඉවත් විය යුතුය.
06. බලහත්කාරයෙන් අතුරුදහන් කරවන ලද අපගේ ඥාතීන් පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණ වහාම ආරම්භ කළ යුතු අතර ඔවුන්ට ජාත්‍යන්තර යුක්තිය ලබා දිය යුතු අතර වැරදිකරුවන්ට දඬුවම් පැනවිය යුතුය.
07. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෙළිදරව් කරන මාධ්‍යවේදීන්, සැලසුම් සහගත ජාතිවාදී මර්දනයට එරෙහිව අරගල කරන සිසුන් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් හට එල්ල වන තර්ජන සහ ඔවුන් අත්අඩංගුවට ගැනීම් වහාම නැවැත්විය යුතුය.
08. දෙමළ ජනතාවගේ අනුස්මරණ උත්සව සඳහා එල්ල කරන සියලුම ආකාරයේ තර්ජන සහ බාධාවන් නැවැත්විය යුතුය.
09. අපගේ නිජබිමේ සම්පත් කොල්ලකෑම වහාම නැවැත්විය යුතුය.
10. දෙමළ නිජබිමෙහි ඇති සමූහ මිනිස් වළවල් ජාත්‍යන්තර අධීක්ෂණය යටතේ කැණීම් කර අදාළ අධිකරණ පරීක්ෂණ කඩිනමින් සිදු කළ යුතුය.
කාලාන්තරයක් තිස්සේ සිදුවන සැලසුම් සහගත දෙමළ වර්ග සංහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර යුක්ති යාන්ත්‍රණය වන ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) සහ ජාත්‍යන්තර අධිකරණය (ICJ) හරහා පරීක්ෂණ පවත්වා පිළියම් සහ යුක්තිය ලබා දිය යුතු අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ විශේෂයෙන් පිහිටුවන ලද විනිශ්චය සභා යාන්ත්‍රණයන්ට ද අවසර දිය යුතු බව උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකාවේ ස්ථිරසාර සාමයක් ඇති කිරීම සඳහා, ඊළාම් දෙමළ ජනයාගේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඓතිහාසික නිජබිම, දෙමළ ජාතිකත්වය සහ ස්වයං පාලන අයිතිය පදනම් කරගෙන එළඹෙන ඕනෑම දේශපාලන විසඳුමක් සඳහා ජාත්‍යන්තරය විසින් සංවිධානය කර අධීක්ෂණය කරනු ලබන ජනමත විචාරණයක් මගින් දෙමළ ජනතාවගේ ජනවරම ලබාගත යුතු බව සිය ස්ථාවරය යැයි උතුරු නැගෙනහිර බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දවුන්ගේ ඥාතීන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාට යොමු කළ ලිපිය මගින් වැඩි දුරටත් දැනුම් දී ඇත.
[theleader.lk]