අනුකම්පාව නොව අයිතිවාසිකම් ඉල්ලා සිටින දශකයක අරගලය  

අනුකම්පාව නොව අයිතිවාසිකම් ඉල්ලා සිටින දශකයක අරගලය   

එක්සත් ජාතීන්ගේ ආබාධිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (UNCRPD) ශ්‍රී ලංකාව විසින් අපරානුමත කර වසර 10ක් සපිරුණ ද, එය බලාත්මක කිරීමට අවශ්‍ය දේශීය නීති මෙතෙක් සම්පාදනය නොකිරීම පිළිබඳව බිම් බෝම්බ තහනම් කිරීමේ ශ්‍රී ලංකා ව්‍යාපාරය (SLCBL) රජයට සිය දැඩි කනගාටුව පළ කර සිටියි.

මෙම දස වසරක සංවත්සරය නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ, ආබාධිත ප්‍රජාවගේ ගරුත්වය සහ සමානාත්මතාවය උදෙසා අත්සන් තැබූ මෙම ජාත්‍යන්තර සම්මුතිය ක්‍රියාවට නැංවීමට මෙරට පාලනය කළ කිසිදු රජයක් මෙතෙක් නිසි පියවර ගෙන නොමැති බවයි. ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින SLCBL ආයතනය පවසන පරිදි, 2015 වසරේ සිටම මෙම සම්මුතියේ වැදගත්කම පිළිබඳව බලධාරීන් දැනුවත් කිරීමට ඔවුන් කටයුතු කර ඇත.

විශේෂයෙන්ම "ශ්‍රී ලංකාව UNCRPD සම්මත කළ යුත්තේ ඇයි?" යන මැයෙන් සිංහල සහ දෙමළ භාෂාවලින් කෘතියක් එළිදක්වමින් සියලු පාර්ශවකරුවන් දැනුවත් කිරීමට ද ඔවුහු පියවර ගත්හ.

"අනුකම්පාව නොව අයිතිවාසිකම් අවශ්‍යයි"

"ආබාධිත ප්‍රජාව යනු අනුකම්පාව ලබන්නන් නොව, අයිතිවාසිකම් සහිත පුරවැසියන් පිරිසකි," යනුවෙන් සිය ප්‍රකාශය මගින් අවධාරණය කරන එම සංවිධානය, වත්මන් රජය ද මෙම ප්‍රමුඛ අවශ්‍යතාවය හඳුනා නොගෙන මඟහැර සිටීම අවාසනාවන්ත තත්ත්වයක් බව පවසයි. මෙම නීතිමය පසුබිම සකස් නොකිරීම හේතුවෙන් මෙරට ලක්ෂ සංඛ්‍යාත ආබාධිත පුද්ගලයින්ගේ සමාජීය, ආර්ථික හා දේශපාලනික අයිතිවාසිකම් තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම සම්මුතිය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ප්‍රමාද නොකර, 2026 වසරේ මුල් භාගය තුළදීම එය අවසන් කරන ලෙස SLCBL සංවිධානය ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටියි.

මෙම ඉල්ලීම ඉටුකිරීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ඉතිහාසයේ තැබිය හැකි සුවිශේෂී සලකුණක් වනු ඇති බව ද එම සංවිධානය සිය විශ්වාසය පළ කරයි.

 

Search