ශ්‍රී ලංකාව තුළ සමරිසි ප්‍රජාව ඉලක්ක කර ගත් සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා විසින් නිකුත් කර තිබෙන ලිපිය ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
අදාල තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී එහි වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය විසින් මෙම දැනුම් දීම සිදු කළා.
මෙම පෙත්සම අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන ප්‍රශ්නගත ලිපිය ඉවත් කර ගන්නා බව උත්තරකාර ලංකා සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා පසුගිය 02 වනදා ලිපියකින් දැනුම්දී ඇතැයි සඳහන් කළා.
ඒ අනුව පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහනය මේ වන විට ලැබී තිබෙන බවත් රජයේ නීතිඥවරිය අධිකරණයට පෙන්වා දුන්නා.
එහෙත් එම දැනුම් දීම කෙරෙහි එකඟතාවය පළ නොකළ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කනිෂ්ක විතාරණ වග උත්තරකරු අදාළ ලිපිය ඉල්ලා අස්කර ගන්නා බව දැනුම් දී තිබුණත් අදාළ සංචාරක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඔහු විසින් ගෙන තිබූ ”තීරණය” ඉවත් කරගන්නා බවක් දැනුම්දී නොමැති බව පෙන්වා දුන්නා.
අදාල තීරණය එසේම පවතිද්දී ලිපිය පමණක් ඉවත් කර ගැනීම ප්‍රමාණවත් නොවන බවත් තම සේවාදායකයින් මෙම නඩුකරය ගොනු කළේ සමරිසී සංචාර කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ලංකා සංචාරක මණ්ඩලයේ සභාපතිවරයා ගෙන තිබූ තීරණය බල රහිත කර ගැනීමේ අරමුණින් බවත් නීතිඥ විතාරණ පෙන්වා දුන්නා.
එම අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා රජයේ නීතිඥවරියට පෙන්වා දුන්නේ මෙම කරුණ සම්බන්ධයෙන් වග උත්තරකරුගේ ස්ථාවරය විමසා මීළග දින දැනුම් දීමට පියවර ගන්නා ලෙසයි.
ඒ අනුව පෙත්සම යළි මාර්තු මස 04 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළා.
මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර, එහි ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර ඇතුළු පිරිසක් විසින්.
එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විදේශ අමාත්‍ය විජිත හේරත්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම්, ඊක්වල් ග්‍රවුන්ඩ් නමැති රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ යන අය නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ ශ්‍රී ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වූ යෝජිත ව්‍යාපෘතියකට ඉඩ සලසමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් වග උත්තරකාර රාජ්‍ය නොවන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වෙත ඉකුත් සැප්තැම්බර් මස 09 වනදා ලිපියක් නිකුත් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
එම ලිපිය තුළින් වගඋත්තරකාර සභාපති වරයා ශ්‍රී ලංකාව තුළ සමරසී ප්‍රජාව සඳහා වූ සංචාරක ව්‍යාපාරයක් සංවර්ධනය කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට අනුමැතිය පළ කර තිබෙන බව පෙත්සම්කරුවන් චෝදනා කළා.
මෙම ලිපිය පිළිබඳ තොරතුරු හෙළිදරව් වීමෙන් පසුව මතුවූ මහජන විරෝධය සහ මහා නා හිමිවරු මෙන්ම කාදිනල් හිමිපාණන් ඊට විරෝධය පළ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ශ්‍රි ලංකාව තුළ සමරිසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණක් රජය තුළ නොමැති බව සඳහන් කළ බවත් පෙත්සම්කරුවන් කියා සිටිනවා.
ඊට අමතරව විදේශ අමාත්‍යවරයාද එම ප්‍රකාශයම සිදුකළ බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.
එසේ තිබියදී ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා එම රාජ්‍ය ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් අත්තනෝමතික ලෙස කටයුතු කර අදාල ලිපිය නිකුත් කර ඇති බවත් ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මෙන්ම දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන උල්ලංඝනය කිරීම සිදුවන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ සමරසි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියකට අනුමැතිය දෙමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරී සභාපතිවරයා විසින් නිකුත් කර ඇති ලිපිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සංකරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.
ඊට අමතරව ශ්‍රී ලංකා තුළ සමරිසි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් සමරිසි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා පියවර ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් වග උත්තරකාර ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති වරයා වෙත නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
උපුටා ගැනීම [ neth news.lk ]