සේවක උසස්වීම් ලබා නොදෙමින් පීඩාකාරි සහ අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට එරෙහිව සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ සහභාගිත්වය ද සහිතව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ ජ්‍යෙෂ්ට නිලධාරිනියක් අද දින (10) පවත්වන්නට නියමිත සත්‍යග්‍රහ ව්‍යාපාරය වහාම නතර කර දමන්නැයි දිවයිනේ පුරවැසි අයිතිවාසිකම් අධීක්ෂණය භාර කොමිසමේ සභාපතිවරයා විසින් තර්ජනය කොට ඇත.
"ඔබ විසින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ රාජකාරි වලට බාධාවන ලෙස හෝ කොමිසන් සභාව අපහසුතාවයට පත්වන ලෙස හෝ කොමිසම් සභාව කෙරෙහි මහජන විශ්වාසය පළුදු වන ආකාරයෙන් හෝ රාජ්‍ය සේවය අපකීර්තියට පත්වන අයුරින් කටයුතු කරනු ලැබුව හොත් ඔබට විරුද්ධව විනයානුකූල පියවර ගැනීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ක්‍රියා කරනු ඇත," යනුවෙන් එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු එල්.ටී.බී දෙහිදෙනිය විසින්, විසි වසරක සේවා පළපුරුද්දක් සහිත ජ්‍යෙෂ්ට මානව හිමිකම් නිලධාරිනි ඒ.ඒ. අයන්ති ශිරෝමිණි වෙත පෙබරවාරි 9 දින යවා ඇති ලිපියෙහි දැක්වේ.
මානව හිමිකම් කඩන මානව හිමිකම් කොමිසම
තමන්ට සහ පොදුවේ කොමිසමේ බොහෝ සේවකයන්ට එරෙහිව ඉහළ පාලනාධිකාරියෙන් සිදුවන අකටයුතුකම්වලට එරෙහිව ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තමන් විසින් පසුගිය වසරේ දෙසැම්බර් 10 දින සිට ආරම්භ කළ සත්‍යග්‍රහය කොමිසමේ ඉහළ නිලධාරින්ගේ මැදිහත්වීම නිසා එක් දිනකින් නතර කර දමනු ලැබු බවත් කියා සිටින නිලධාරිනිය, දෙමාසයකට පසුවත් නිසි යුක්තියක් ඉටු නොවීම මතම යළිත් පවත්වන්නට තීරණය කළ සත්‍යග්‍රහය විනය පරීක්ෂණ තර්ජන නිසා නවතා නොදමන බව දැඩි ලෙස කියා සිටියාය.
"ගිය වතාවේ මම සත්‍යග්‍රහයට ඉඳ ගත්තේ නතර කරන්න බලා ගෙන නෙමෙයි. ඒත් කොමිසමේ සභාපතිතුමාගේ ඉඳලා හැමෝම මට බලපෑම් කරලා ඒක නතර කෙරෙවුවා. මාස දෙකකට පස්සෙත් මට සාධාරණය ඉටු වෙලා නැති නිසයි මම ආයේ සත්‍යග්‍රහය කරන්නේ. දැන් මට තර්ජනය කරනවා ඒක නතර කරන්න කියලා. මම සත්‍යග්‍රහය කළොත් මගේ රැකියාව අහිමිකරනවා කියලයි සභාපතිතුමා කියන්නේ,” යනුවෙන් පවසන අයන්ති ශිරෝමිනි අවධාරණය කරන්නේ මුල් විරෝධතාව අවස්ථාවේ ජනාධිපති කාර්යාංශයෙන් පොරොන්දු වූ පරීක්ෂණ කමිටු පත් නොකිරීමද තමන්ගේ මෙවර සත්‍යග්‍රහයට මග පෑදු බවයි.
විසි වසරක සේවා කාලයක් ඇති තමන් මාස දහයක් පුරා නිසි රාජකාරි පැවරීමකින් තොරව සේවයේ යෙදවීම, සේවක ඉල්ලීම් නොතකමින් කොමිසමේ ලේකම් ධූරයට අවධිමත් පත් කිරීම් සිදු කිරීම, අක්‍රමිකතා සහ ඥාතී හිතවත්කම් මත පත් කිරීම් සිදු කිරීම, රජයේ මුදල් අවභාවිතා කිරීම, විගණන විමසුම් සඳහා ව්‍යාජ තොරතුරු ලබා දීම, දූෂිත නිලධාරින් ආරක්ෂා කිරීම සහ අධිකරණය නොමග යවමින් ව්‍යාජ තොරතුරු ලබා දීම ඇතුළු චෝදනා ගණනාවක් යටතේ පසුගිය වාරයේ සත්‍යග්‍රහය ඇය විසින් පවත්වා ඇති අතර, අවස්ථා ගණනාවකදීම ඇය ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජ්‍ය බලධාරින් වෙතින් ලිඛිතව ඉල්ලා ඇත්තේ ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ අකටයුතු කම් සොයා බලන්න පූර්ණ බලැති කොමිසමක් පත් කරන ලෙසයි.
ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ ඉහළ නිලධාරින් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය හා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම් සභාවද ඇතුළු ආයතන ගණනාවකටම පැමිණිලි කොට ඇතත් තවමත් ඒ සම්බන්ධයෙන් තවමත් නිසි විමර්ශනයක් සිදු නොකෙරෙන්නේ කවර නම් හේතුවක් මතදැයි තමන් විමතියට පත්ව සිටින බව ඇය පවසන්නීය.
දුෂණ වංචාවලින් පිරුණු කොමිසමක්
"මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා ප්‍රමුඛ කොමසාරිස් මණ්ඩලයේත් අනෙකුත් ඉහළ නිලධාරින්ගෙත් අකටයුතුකම් පිළිබඳව මම ජනාධිපතිවරයාගේ ඉඳලා මේ රටේ වගකිය යුතු හැම පුද්ගලයකුටම, ආයතනයකටම ලිඛිතව පැමිණිලි කරල තියෙනවා.ඒත් තවමත් ඒ කිසි තැනකින් මේ ගැන නිසි අවධානයක් දක්වලා නෑ," යනුවෙන් අයන්ති ශිරෝමිණි කියා සිටි.
රාජකාරි වේලාව තුළ සිදුවු මාරාන්තික රිය අනතුරක් හේතුවෙන් දීර්ඝ කාලීන වෛද්‍ය ප්‍රතිකාරවලින් අනතුරුව පූර්ණ ආබාධිත තත්වයට පත්ව සිටින තමන් හට ඒ සම්බන්ධයෙන් හෝ නිසි පහසුකම් සැලසීමකින් තොරව කොමිසමේ බලධාරින් විසින් ඉතා හිංසා පීඩාකාරි ලෙස සේවයට යොදා ගන්නේ යැයි ද චෝදනා කරන ඇය වැඩිදුරටත් විමසා සිටින්නේ රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරැකීමට සිටින මානව හිමිකම් කොමිසම ම එහි සේවයෙහි නියුතු ආබාධිත තත්වයේ සේවකයන්ගේ අයිතිවාසිකම් මෙසේ උල්ලංඝණය කරනු ලබන්නේ නම් එම අවනඩුව කා හට පවසන්නේ ද යනුවෙනි.
කෙසේ නමුත් මෙය හුදෙක් තමන්ගේ පෞද්ගලික ගැටලුවක් පමණක්ම නොව පොදුවේ මානව හිමිකම් කොමිසමේ සේවයේ නියුතු හඬක් නැඟිමට ඉඩ ප්‍රස්තාවක් නොලැබෙන කණිෂ්ට සහ පරිවාස සේවා මට්ටමේ සිටින සේවක සේවිකාවන්ගේ ද අයිතිය උදෙසා කරනු ලබන අරගලයක් සහ විශේෂයෙන්ම පුරවැසියන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන්ම කරනු ලබන අරගලයක් බවත් පවසමින් ඇය විසින් සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ සහාය ඉල්ලා යොමු කොට තිබුණු ලිපිය ලද එක් ආයතනයක් විසින් එය පෙරලා මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා වෙත යොමු කොට තිබේ.
සභාපති සහ සිවිල් නියෝජිතයන් එක පෙලට

"ඔබ විසින් 2026 .02.06 දින සත්‍යාග්‍රයක් පැවැත්වීමට කටයුතු කරන බවට සිවිල් සංවිධාන වෙතයොමු කර ඇති දැනුම් දීම ඔවුන් විසින් සුදුසු කටයුතු සඳහා ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම් වෙත යොමු කර ඇත" යනුවෙන් එහි සභාපති දෙහිදෙනිය විසින් අයන්ති ශිරෝමිනි වෙත යොමු කොට තිබෙන අනතුරු ඇඟවීමේ ලිපියෙහි දැක්වෙති.
දැන ගන්නට ඇති පරිදි එම ලිපිය සභාපතිවරයා වෙත යොමු කොට තිබෙන්නේ බෞද්ධ භික්ෂුන්ගේ ද දායකත්වය සහිතව මීගමුව ප්‍රදේශයේ සිට ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක ප්‍රධානියකු විසිනි.
කෙසේ නමුත් මානව හිමිකම් නිලධාරිනි අයන්ති ශිරෝමිනි දැඩිව සහ අවධාරණයෙන් පවසන්නේ කුමන බාධක සහ තර්ජන පැමිණියද හෙට දිනයේ සත්‍යග්‍රහය පවත්වන බවත් , යම් හෙයකින් කොමිසම සහ රජය මෙය නතර කරවීමට හෝ තමන්ට එරෙහිව හිංසා පීඩාකාරිව හෝ කටයුතු කරනු ලැබුව හොත් එයට එරෙහිව ශ්‍රි ලංකාව තුළත් ජාත්‍යන්තර නීති ක්ෂේත්‍රය තුළත් දැඩිව හඬක් නගන බවකි.
(සටහන | කේ .විජේසිංහ)