මැතිසබේ හුටපටය: තානාපතිලාත් සීරුවෙන්

 මැතිසබේ හුටපටය: තානාපතිලාත් සීරුවෙන්

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව එල්ලවී ඇති දූෂණ වංචා චෝදනා සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්

සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ  චමින්ද කුලරත්න ගේ වැඩ තහනම සම්බන්ධයෙන් මෙරට බොහෝ තානාපති කාර්යාලද විශේෂ අවධානය යොමු කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේම එම සිද්ධීන් සම්බන්ධයෙන් තානාපති කාර්යාල කිහිපයක් පසුගිය දිනවල විශේෂ තොරතුරු සොයා බැලීමක්ද කර ඇතැයි  දැනගන්නට ඇත.

මේ අතර චමින්ද කුලරත්න සතුව ඉහත සිද්ධීන්වලට අදාල සාක්ෂි ඇති හෙයින් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද තානාපති කාර්යාල අවධානය යොමු කර ඇතැයි වාර්තාවේ.

කතානායකවරයාට එරෙහිව එල්ල වී ඇති දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ඉකුත් සිකුරාදා විමර්ශන  ආරම්භ කෙරිණ.

සිද්ධියේ  චෝදනා තහවුරු කරගැනීම සඳහා අදාල ලියකියවීලි පාර්ලිමේන්තු මහ ලේකම්වරියගෙන් ලබා ගැනීමට අල්ලස් කොමිසම මේ දිනවල කටයුතු කරමින් සිටී.

මේ අතර කතානායකවරයාට එරෙහිව හිටපු නියෝජ්‍ය මහ ලේකම්  නීතිඥ චමින්ද කුලරත්න අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමෙන් පසු කතානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා මහ ලේකම්වරියට ලිපියක් යොමු කරමින් පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානීන්ගෙන් වාර්තා ගැනීමට උත්සාහ දරා ඇතැයි වාර්තාවේ.

මෙම සිද්ධිය අල්ලස් කොමිසමට කළ බලපෑමක් හෙයින් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ලෙස දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන  නියෝජිතයෝ පිරිසක් අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට කටයුතු කරමින්  සිටිති.

මේ අතර තමා සේවයෙන් ඉවත් කිරීමේ තීරණයට එරෙහිව චමින්ද කුලරත්න අභියාචනාධිකරණය හමුවේ අද නඩු පැවරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

(lankadeepa |
සුජිත් හේවාජුලිගේ)

[theleader]

Search