වර්තමානයේ දී ආණ්ඩුවට ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය 25%ටත් වඩා අඩු වී ඇති නිසා ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කල්දැමීමට සැලසුම් කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කරනවා .
අද(09) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිණුයි ඔහු මේ බව සඳහන් කළේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මම්පිල කියා සිටියේ අන්ත පරාජයකට බයේ පළාත් සභා මැතිවරණය කල්දැනීමට ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින බවයි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මෙසේද පැවසුවා.
‘ දිට්වා කුණාටුව නිසා පළාත් සභා මැතිවරණය කල් දැමීමට සිදුවන බව රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා ඇමති චන්දන අභයරත්න මහතා ඊයේ ප්‍රකාශ කළා. මේක ඇත්තටම විහිළුවක්. 1988 දී ලංකාවේ පළමු පළාත් සභා මැතිවරණය පවත්වන කොට ලංකාව දෙකොන ගිනි ගත්තු විලක්කුවක් වගේ තිබ්බේ.
උතුරේ කොටි ත්‍රස්තවාදය. දකුණේ ජවිපෙ ත්‍රස්තවාදය. ඒත් ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ත්‍රස්තවාදි අභියෝග දෙකක් මැද පළාත් සභා මැතිවරණය රට පුරාම පැවැත්වුවා. පළාත් සභා විතරක් නොවේ, 1988 ජනාධිපතිවරණය වගේම 1989 පාර්ලිමේන්තු මැතිවරණයත් පැවැත්වුණේ ත්‍රස්තවාද දෙකම තිබෙන අතරේ. ඒ වගේම අවුරුදු 37ක් උතුරේ ත්‍රස්තවාදයක් තිබුණු එක කිසිම මැතිවරණයක් පවත්වන්න කිසිම ආණ්ඩුවක් බාධාවක් කර ගත්තේ නෑ. එහෙව් එකේ දිට්වා කුණාටුව නිසා පළාත් සභා මැතිවරණය පවත්වන්න බෑ කියන එක තරම් විහිළුවක් නෑ.
2018 සිට අවුරුදු අටක් කල් ගිහින් තිබෙන පළාත් සභා මැතිවරණය ලබන මාසයේ වුණත් පවත්වන්න පුළුවන්. 2018 සම්මත කර ගත් පළාත් සභා මැතිවරණ පනත අහෝසි කිරීමට වගන්ති තුනේ පනතක් ගෙනාවොත් පළාත් සභා මැතිවරණය පවත්වන්න තිබෙන නීතිමය බාධාව නැති වෙනවා.
පළාත් සභා මැතිවරණ පැරණි ක්‍රමයට පවත්වලා පළාත් සභා පිහිටුවා ගත්තාට පස්සේ ඊළඟ පළාත් සභා මැතිවරණය පවත්වන්න වසර පහක්ම තිබෙන නිසා තේරීම් කාරක සභාවක් දාලා සියළු දෙනාගේම අදහස් අරගෙන සීමා නිර්ණය කරලා සභා මැතිවරණයට කොට්ඨාශ හඳුන්වා දෙන්න පුළුවන්.
මේක සාපේක්ෂතාවාදය නොවෙයිනෙ. ඕනෑම දරුවෙකුට වුණත් තේරෙන මේක මහාචාර්ය චන්දන අභයරත්න ඇමතිතුමාට විතරක් තේරෙන්නේ නැත්තේ මොකද? තේරෙන්නේ නෑ නොවෙයි පළාත් සභා මැතිවරණය පවත්වන්න බයයි. ආණ්ඩුවේ ජනප්‍රියතාවය පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණයක් කරලා මීට සති දෙකකට පෙර ජනාධිපතිතුමාට රහස් වාර්තාවක් දුන්නා. ඒක කළේ පෞද්ගලික සමීක්ෂණ ආයතනයක්. ඒ වාර්තාවේ හැටියට ආණ්ඩුවේ ඡන්ද පදනම 25%ටත් පොඩ්ඩක් අඩුවෙන් තිබෙන්නේ. ආණ්ඩුවට කිසිම පළාත් සභාවක් දිනා ගන්න බෑ. ඒකයි ආණ්ඩුව පළාත් සභා මැතිවණය පවත්වන්න බය වෙලා තිබෙන්නේ.
කොහොමත් කිසිම කලබගෑනියක් වෙන්න කලින් 2025 මැයි පැවැත්වුණු පුංචි ඡන්දයේ දීත් මාලිමාව ගත්තේ 43%නෙ. පුංචි ඡන්දය පළාත් සභා මැතිවරණයක් වුණා නම් ප්‍රතිඵලය මොකක් වෙයිද කියලා විශ්ලේෂණයක් මම මගේ යූ ටියුබ් නාලිකාවේ කළා. ඒ අනුව පුංචි ඡන්ද ප්‍රතිඵලය අනුවත් මාලිමාව දිනන්නේ උතුරු මැද සහ බස්නාහිර පළාත් සභා විතරයි.
එදාට පස්සේ තමයි රණවිරුවා සෙබලා වුණේ. උතුරට බෞද්ධයින් එන්නේ වෛරය වපුරන්න කිව්වේ. මුතු කුඩයක් කැඩෙන්න හාමුදුරුවන්ට ගැහුව්වේ. මාලිමා නායකයින්ගේ වත්කම් හෙළි වුණේ. ආණ්ඩුවේ වරදින් දිට්වා විනාශය වුණේ. ගල් අඟුරු වංචාව, ලුණු වංචාව හෙළි වුණේ. ඒ නිසා 43% දැන් 25%ට බැහැලා කියන එකට පදනමක් තිබෙනවා. අපටත් තේරුම් ගන්න බැරි කාරණය තමයි තවමත් 25%ක් ඡන්දදායකයින් මාලිමාව සමග ඉන්නේ ඇයි කියන එක විතරයි.
මේ වාර්තාව පිළිබඳ මම කියන කතාව බොරුවක් නම් වගන්ති තුනේ පනත ගෙනැවිත් පළාත් සභා මැතිවරණය පවත්වන්න කියලා මම ආණ්ඩුවට අභියෝග කරනවා. ඒ වගේම ආණ්ඩුවට පුංචි අවවාදයක් දෙන්න කැමතියි. ඡන්ද කියන ඒවා පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා. 2015 පවත්වන්න ඕනි පුංචි ඡන්දය රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා 2018 දක්වා කල් දැම්මා. ප්‍රතිඵලය මොකක්ද? 2015 දී නොතිබුණු පොහොට්ටුව කියලා පක්ෂයක් 2016 දී හැදිලා 2018 පුංචි ඡන්දය දිනා ගත් එක.
2025 ඡන්දය පැවැත්තුවා නම් පළාත් සභා දෙකක් දිනන්න තිබ්බා. දැන් ඡන්ද පදනම 25%යි. තවත් අවුරුද්දක් කල් මැරුවොත් ඡන්ද පදනම 3%ටම පල්ලම් බැහැලා තිබෙන්න පුළුවන්. මතක තියා ගන්න. ලෝක ඉතිහාසයේ ඡන්ද පදනමේ දැවැන්තම කඩා වැටීමේ වාර්තාවට හිමිකම් කියන්නෙත් මාලිමාව තමයි. 2024 නොවැම්බර් මාසයේ දී මාලිමාව පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලක්ෂ 69ක් ලබා ගත්තා. ඒක පුංචි ඡන්දයේ දී ලක්ෂ 45 දක්වා ඇදගෙන වැටිලා තිබෙනවා. ඒ කියන්නේ මාස හයක් ගත වෙන්නත් කලින් ඡන්ද පදනම ලක්ෂ 24කින් අඩු වෙනවා. මාලිමාවේ මේ පසුබෑම මාස හයක් ඇතුළත 1/3කින් නැතිනම් 34%කින් කඩා වැටීමක් ලෙසයි වාර්තා වෙන්නේ. එතැන් සිට අවුරුද්දක් යන තැන 25% හරි ඉතිරිවෙලා තියෙන එක මාලිමා ආණ්ඩුව පැත්තෙන් සැනසිල්ලට කාරණයක් කියලයි අපිට නම් හිතෙන්නේ.’