දිට්වා සුළිකුණාටුවේ බලපෑම හමුවේ වුවත්, ශ්‍රී ලංකාවේ ආර්ථිකය මනා විනයකින් යුතුව පවත්වාගෙන යමින් ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
ඔහු මේ බව පැවසුවේ, කෘත්‍රීම බුද්ධි සහ ඩිජිටල් යුගයේ ආර්ථික වර්ධනය මැයෙන් අද (06) කොළඹදී පැවැත්වුණු සමුළුවක් අමතමින්.
අතිරේක වියදම්, රජයේ ණය ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට බලපෑම් කරන බවට විවාදයක් පවතින නමුත් පසුගිය වසර කිහිපයේ පැවති යහපත් ආදායම් උපයාගැනීම සහ මූල්‍ය විනය හේතුවෙන් රජයේ බැංකු දෙකෙහිම රුපියල් ට්‍රිලියනයක අතිරික්තයක් පවත්වාගැනීමට හැකිව ඇති බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.
ආර්ථික අර්බුදයට පෙර රජයේ බැංකුවල රුපියල් ට්‍රිලියනයක හිඟයක් පැවතියත් එය දැන් අතිරික්තයක් බවට පත්ව ඇති අතර මෙවන් ආර්ථික පීඩනයකට මුහුණදීමේදී එම මුදල් ප්‍රයෝජනවත් වූ බවද ඔහු පැවසීය.
එමෙන්ම මෙම ඉතුරුම් නිසා රජයට තවත් ණය ගැනීමට සිදු නොවුණු බවත් මෙම වසර තුළ බිලියන 8ක ආරක්ෂිත සංචිතයක් ගොඩනංවා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කළේය.
උද්ධමනය මේ වනවිට 2%කට ආසන්න අගයක පවතින අතර සිය ඉලක්කය වන්නේ උද්ධමනය 5%ක මට්ටම ඉක්මවායාමට නොදීපවත්වාගැනීම වන බවද ඔහු මෙහිදී පැවසීය.