නතර වේ යැයි සිතුවත් වත්මන් රජය යටතේද බාල බෙහෙත් මාෆියාව ක්‍රියාත්මක වෙනවා--විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහියංගනය මූලික රෝහලට සෞඛ්‍ය උපකරණ ලබාදෙමින් කියයි

නතර වේ යැයි සිතුවත් වත්මන් රජය යටතේද බාල බෙහෙත් මාෆියාව ක්‍රියාත්මක වෙනවා--විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහියංගනය මූලික රෝහලට සෞඛ්‍ය උපකරණ ලබාදෙමින් කියයි



ජන වරමක් ලැබුණේ පැවැති රජයේ ඖෂධ වංචාව ඉදිරියට ගෙන යෑමට නොවෙයි

මීට වසර කිහිපයකට පෙර මෙරට අන්ත දූෂිත අන්ත වංචනික බාල බෙහෙත් ජාවාරමක් ක්‍රියාත්මක වූ අවස්ථාවේ ඒ ගැන හෙළිදරව් කළේ සහ එවක සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංග ගෙන ආවේ සමගි ජන බලවේගය බවත් එදා සිදු වූ බාල බෙහෙත් වංචා නව රජය සමඟ නතර වේ යැයි සිතුවත් වත්මන් රජය යටතේද බාල බෙහෙත් මාෆියාව ක්‍රියාත්මක වීම නිසා

පසුගිය දින බාල එන්නත් නිසා කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත් ප්‍රමිතියෙන් තොර එන්නත් ඖෂධ ලබාදීමේ කූඨ ජාවාරම අදටත් ක්‍රියාත්මක බවත් වත්මන් රජයට වරමක් ලැබුණේ පැවැති රජයේ ඖෂධ වංචාව ඉදිරියට ගෙන යෑමට නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය මූලික රෝහලට රු. ලක්ෂ 46.5ක් වටිනා සෞඛ්‍ය උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය. මෙහි දී

රු. ලක්ෂ 38ක් වටිනා Dialog¬ Single Pump Hemodialysis එකක් සහ රු. ලක්ෂ 7.6ක් වටිනා Bluedot RO System 600Gpd යන්ත්‍රයක් ලබා දීම සිදුවිය. වකුගඩු රෝගීන් වෙනුවෙන් මෙම පරිත්‍යාග කිරීම සිදු විය.

එදා සමගි ජන බලවේගය බාල බෙහෙත්වලට කෑ ගහන විට වත්මන් රජයේ එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා ඊට සහයෝගය ලබා දුන් බවත් එදා හොර බෙහෙත් ජාවාරම නතර කරනවා යැයි කියා සටන් පාඨ කියූ වත්මන් රජයේ මැති ඇමැතිවරු අද රිසිසේ බාල බෙහෙත් බාල එන්නත් ජනතාවට බෙදා දෙන්න කටයුතු කරන බවත් වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරින් සියලු‍ දෙනා මේ බලා බෙහෙත් මාෆියාව විනාශ කරන්න කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ඖෂධ මාෆියාව නිසා දසදහස් ගණනකගේ ජීවිත අහිමිවන බවත් බෙහෙත් රටට ආවම ඒවා පරිභෝජනයට සුදුසු බවට සහතික කරන්නේත් අලෙවි කරන්නේත් බාල බෙහෙත් යැයි අනාවරණය වූ පසු පරීක්ෂණය කරන්නේත්

සෞඛ්‍ය අමාත්‍යංශය නිසා මේ බාල බෙහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ජාත්‍යනතර ආයතන හරහා බෙහෙත්වල ප්‍රමිතිය සොයා බැලිය යුතු බවත් අප රටට තවමත් බෙහෙත්වල ගුණාත්මකභාවය සෙවිය හැකි පරීක්ෂණ ආයතනයක් නොමැති බවත් මෙවැනි මධ්‍යස්ථානයක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මේ වගකීමෙන් ඇමැතිවරයාට සහ නිලධාරීන්ට බැහැර විය නොහැකි බවත් හිටපු ඇමැතිවරයාට සේම වත්මන් සෞඛ්‍ය ඇමැතිවරයාටද මේ වගකීමෙන් බැහැර විය නොහැකි බවත් මේ බාල බෙහෙත් ජාවාරම ක්‍රියාත්මක කරන සියලු‍ දෙනාට විරුද්ධව සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය ලක්ෂ 220ක් ජනතාව වෙනුවෙන් මහපාරට බැස මේ මාෆියාවට විරුද්ධව කටයුතු කරන බවත් මේ බාල බෙහෙත් ජාවාරම විනාශ කරන්න රජය ගන්නා ඕනෑම පියවරකට විපක්ෂයේද සහයෝගය ලබාදෙන බවත් මූලික හා මානව අයිතිවාසිකමක් වන සෞඛ්‍ය වෙනුවෙන් සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

දිට්වා සුළි කුණාටුව නිසා ලක්ෂ සංඛ්‍යාත ජනතාව අවතැන් වී ඇති බවත් මේ ජනතාව වෙනුවෙන් සහන දෙන බවට පාර්ලිමේන්තුවේ කිව්වත් තවමත් ඒ සහන නොමැති බවත් සුළි කුණාටුවෙන් අනාථ වූ ජනතාව බොරු පොරොන්දුවලින් අනාථ කර ඇති බවත් කියපු සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය යුතු බවත් අවතැන් වූ ජනතාව සහන කුණාටුවේ වින්දිතයන් නොකළ යුතු බවත් කෝටි ගණනින් සහන දෙනවා කිව්වත් අද වන විට ඒ කිසිවක් සිදු නොවී ඇති බවත් දිට්වා සහන කුණාටුවට ජනතාව හසුවී පීඩාවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ඡන්ද කාලය මෙන්ම පච මල්ලක් ඉදිරිපත් නොකර මේ ආපදා අවස්ථාවේ විපතට පත් ජනතාව සමග සෙල්ලම් නොකර කියූ දේ කරන ලෙසත් ජනතාවගේ ජීවිත සමග රජයට සෙල්ලම් කරන්න විපක්ෂය ඉඩ නොදෙන බවත් පාර්ලිමේන්තුවේ කියූ ආකාරයට ජනතාවට හිමි සහන ලබා දිය යුතු බවත් බොරු පොරොන්දු නොදී සැබෑ ලෙසම ජනතාවට සේවය කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Search