වත්මන් රජය අදහස් පළ කිරීමේ නිදහසට බාධා කර ඒකාධිපති පාලනයකට රට ගෙන යන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

වත්මන් රජය අදහස් පළ කිරීමේ නිදහසට බාධා කර ඒකාධිපති පාලනයකට රට ගෙන යන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස


ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කරන ප්‍රධාන කුළුණු හතර වන්නේ ව්‍යවස්ථාදායකය, විධයකය, අධිකරණය සහ ස්වාධීන මාධ්‍ය වුවත් මේ මොහොත වන විට වත්මන් රජය පොලිසිය උපයෝගී කර ගෙන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත් පොලිසියේ සේවය කරන නිලධාරීන්ගේ අයිතියත් උල්ලංඝනය කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට රටේ ජනතාවට සත්‍ය තොරතුරු දැන ගැනීමේ අයිතිය ඉවත් කරන්න පොලිස් රාජ්‍යයක් ක්‍රියාත්මක කරන්න කටයුතු කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වන්නට නම් මාධ්‍ය නිදහස සුරක්ෂිත වී ස්වාධීන මධ්‍යට තැන දිය යුතු බවත් මේ හරහා සංවරණ හා තුළන ක්‍රියාවලියට සවියක් වන නමුත් වත්මන් රජය ස්වාධීන මාධ්‍ය ක්‍රියාවලියට බලපැම් කර ස්වාධීන මාධ්‍ය මර්ධනය කරන්නට පොලිසිය උපයෝගී කර ගෙන ස්වාධීන මාධ්‍යට තර්ජනය කරන්න යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද වත්මන් රජය ස්වාධීන මාධ්‍ය වෙත එල්ල කරන බලපෑම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.*

ස්වාධීන මාධ්‍ය තමන්ගේ මතය හේතු කරුණු කාරණා සාක්ෂි මත පදනම්ව ඉදිරිපත් කළත් එය උල්ලංඝනය කරන්න කටයුතු කිරීම යනු ප්‍රජාතන්ත්‍රවාදී රට පොලිස් රාජ්‍යක් බවට පත් කිරීමට උත්සාහ කිරීමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*නිහඩ බහුතරයේ හඬ වන ස්වාධීන මාධ්‍යට බලපෑම් කරන්න එපා*

මෙරට නිහඩ බහුතරයේ හඬ වන්නේ ස්වාධීන මාධ්‍ය බැවින් එය මර්දනය නොකළ යුතු බවත් මේ මාධ්‍ය මර්දනය යනු ඒකාධිපති පාලනයකට අත පෙනීමක් බවත් ⁣ජනතාව ජන වරම දුන්නේ ඒකාධිපති පාලනයකට හෝ පොලිස් රාජ්‍යක් ඇති කිරීමට නොවන බවත් රජය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කරන්න උත්සාහ කරන්නේ නම් ඒ වෙනුවෙන විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

*ආණ්ඩුව පොලිසියේ ස්වාධීනත්වයට බලපෑම් කරනවා*

තවද පොලිසියේ ස්වාධීනත්වයට පව බලපෑම් එල්ල කරන නිස අපක්ෂපාතීව සේවය කරන්න නොහැකි වී ඇති බවත් දේශපාලන බලපැමෙන් තොරව සේවය කරන්න නොහැකි වී ඇති බවත් කතා කිරීම අදහස් පළ කිරීමේ නිදහසට බලපෑම් කිරීම යනු ඒකාධිපති පාලනයකට රට ගෙන යාමක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

*දැන් පළාත් පාලන ආයතන අයවැය ඡන්දයටත් ආණ්ඩුවේ ඒකාධිපති බලපෑම එනවා*

සත්‍ය හෙළිදරව් කිරීමේ අයිතිය මාධ්‍යට ඇති බවත් එයට බලපැම් කිරීම යනු ලක්ෂ 220 ජනතාවගේ අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් දැන් පළාත් පාලන ආයතනවල අයවැය ගැන මතය ප්‍රකාශ කිරිමේ ඉඩකඩ පවා උල්ලංඝනය කරමින් සිටින බවත් පළාත් පාලන ආයතනවල අයවැය ගැන පවා අදහස් පළ කරන්න නොහැකි වී ඇති බවත් මීගමුවේ සහ හොරණ සිදු වුයේ එවැනි දෙයක් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Search