දිට්වා ලංකාවේ පහෙන් එකක් යට කරලා;UNDP විශ්ලේෂණයක් -

දිට්වා ලංකාවේ පහෙන් එකක් යට කරලා;UNDP විශ්ලේෂණයක් -

ශ්‍රී ලංකාවට පසුගියදා බලපෑ දිට්වා සුළි කුණාටුව, දශක ගණනාවකින් ශ්‍රී ලංකාවට බලපෑ දරුණුතම ගංවතුර ව්‍යසනයක් ලෙස  එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නම් කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) භූගෝලීය විශ්ලේෂණයකට අනුව, මෙම සුළි කුණාටුව හේතුවෙන් රටේ භූමි ප්‍රමාණයෙන් 20%ක් පමණ වන හෙක්ටයාර මිලියන 1.1කට වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවි තිබෙනවා.

සුළි කුණාටුවෙන් ගංවතුරට හසු වූ මුළු ශ්‍රී ලාංකිකයන් ගණන මිලියන 2.3ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙන අතර ඉන්වැඩි ප්‍රමාණයක් කාන්තාවන්.

ගංවතුරට හසු වූ ජනගහනයට ආසන්න වශයෙන් කාන්තාවන් මිලියන 1.2ක්, ළමුන් 522,000ක්, සහ වයස්ගත පුද්ගලයන් 263,000ක් ඇතුළත් බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

ගංවතුරට හසුවූ සමස්ත ජනතාවගෙන් 60%කට වැඩි පිරිසක් ජීවත් වූයේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙක තුළයි.

ගංවතුරට ලක් වූ ප්‍රදේශවල සිටි ජනතාවගෙන් අඩකට වඩා වැඩි පිරිසක් සුළි කුණාටුවට පෙර සිටම අස්ථාවර ආදායම් සහ අධික ණය වැනි බහුවිධ අවදානම්වලට මුහුණ දී සිටි බව ද එහි සඳහන් වනවා.

ගංවතුර ගොඩනැගිලි 720,000ක් පමණ ආසන්නයට ළඟා වූ අතර, එය රටේ සෑම ගොඩනැගිලි දොළහකින් එකක්.

කිලෝමීටර් 16,000කට වැඩි මාර්ග ප්‍රමාණයක් ගංවතුරට නිරාවරණය වී තිබෙනවා. වාර්තාව පවසන්නේ එය දිවයිනේ වෙරළ තීරය වටා දොළොස් වතාවකට වඩා ගමන් කිරීම තරම් ප්‍රමාණයක් බවයි.

දුම්රිය මාර්ග කිලෝමීටර් 278කට වැඩි ප්‍රමාණයක් සහ පාලම් 480ක් ගංවතුරට ලක් වූ ප්‍රදේශවල පිහිටා තිබූ බව සඳහන් වනවා.

කඳුකර අභ්‍යන්තර ප්‍රදේශවල සුළි කුණාටුව හේතුවෙන් නාය යෑම් 1,200ක් පමණ ඇති වූ බවත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසනවා.

UNDP පවසන්නේ දිට්වා, වසර ගණනාවක ආර්ථික පීඩනයෙන් දැනටමත් දුර්වල වී ඇති කලාපවලට බලපෑ බවයි.

ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයකින් පසු යථා තත්ත්වයට පත්වෙමින් සිටින බැවින්, මෙම විශාල ස්වභාවික ව්‍යසනය යළි ගොඩනැංවීමේ වියදම් පියවා ගැනීමට තවත් ණය බරක් දැරීමට රටට නොහැකි බව UNDP නියෝජිත අසූසා කබෝටා අවධාරණය කරනවා.

එබැවින්, UNDP විසින් ප්‍රජාවන්ට නැගී සිටීමට උපකාර කිරීම සඳහා මුල්කාලීන ප්‍රතිසාධන සහාය වැඩි කිරීමට ඉල්ලා සිටිනවා.

ජාත්‍යන්තර හවුල්කරුවන් ශ්‍රී ලංකාව ණය අගාධයට ඇද නොවැටී වේගවත් ප්‍රතිසාධනයක් සඳහා දැරිය හැකි මූල්‍යකරණය සහ නව්‍ය උපායමාර්ග සමඟින් ඉදිරිපත් විය යුතු බව ද ඔවුන් පෙන්වා දෙනවා.

Search