වර්තමානයේ කවුරුත් කතා නොකරන බරපතල ගැටලුවක් වන දුප්පත්කම රටේ නිර්මාණය වී දුප්පත්කම වැඩි වී ඇති බවත් Center for poverty analysis කියන ආයතනය විසින් දුප්පත්කම සම්බන්ධයෙන් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව රටෙන් 25%ක් දුප්පත් අතර තවත් ආයතන රැසක් සිදු කරන ලද සමීක්ෂණ අනුව මේ වන විට රටේ දුප්පත්කම 40-50%ක් අතර බවත් රටේ කොපමණ දුප්පත් ද කියා වත්මන් රජයවත් හිටපු රජයවත් හරියට නොදන්නා බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව එය තවමත් හරියට ගණනය කර නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවාව යටතේ ගාල්ල ජනතා ගැටලු සොයා බැලීම සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය කිරීම සඳහා අම්බලන්ගොඩ ආසනයේ පැවැති ජන හමුවකදීය. මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු පළාත් පාලන දේශපාලනඥයන් රැසක් ද එක්විය.
මේ වන විට ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය කරන බවත් 2022 රට බංකොලොත් වූ අවස්ථාවේ මෙය සිදු කළ යුතු වුවත් එය කළේ නැති බවත් ගෘහයක ආහාර හා ආහාර නොවන වියදම් ගණනය කිරීම ජන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදු කර දරිද්‍රතා රේඛාව සකස් කර දරිද්‍රතා රේඛාවේ සහ එහි පහළ සිටින අය දුප්පතුන් වන බවත් මේ දේ ගණනය නොකර අස්වැසුම ලබා දුන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දුප්පත්කම නැති කරන්න කියලා ප්‍රජා ශක්ති ගෙනත් මාලිමාවේ සාමාජිකයන් සතුටු කරවනවා
ග්‍රාමීය නාගරික හා වතු දුප්පත්කම ගණනය නොකර අස්වැසුම දුන් බවත් බොහෝ අය අස්වැසුම ඉල්ලුවත් ඒ අතර සැබෑ දුප්පතුන් සොයා ගන්න කිසිදු විද්‍යාත්මක වැඩපිළිවෙළක් නොතිබුණු පසුබිමක දැන් ප්‍රජා ශක්ති කියා අලුත් නමක් දාගෙන එම වැඩසටහනේ සභාපතිවරුන් ලෙස ජවිපේ ගෝලබාලයන් නම් කර දැන් පොලිස් සහතික ගන්නත් මේ සභාපතිවරුන්ගේ චරිත සහතික අවශ්‍ය බවත් මේ ප්‍රජා ශක්ති කමිටුවලට නිල බලයෙන් පත්වන අය හැරුණු විට ඉතුරු සාමාජිකයන් ජවිපේ අයගෙන් දමන බවත් මොවුන් උත්සාහ කරන්නේ බිම් මට්ටමේ සිට රටේ බලය අල්ලා ඒකාධිපති ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දැන්වත් මාධ්‍ය හරහා ගොඩනගන ව්‍යාජ ප්රතිරූපවලට රැවටෙන්න එපා
මෙවැනි දෙයක් සිදු වුවහොත් ජනතාව අපේක්ෂා කරන ගැටලුවලට උත්තර නොලැබෙන බවත් මාධ්‍ය හරහා ඇති කළ ව්‍යාජ ප්රතිරූප ගොඩනැගීමට ජනතාව රැවටී අවසානයේ ජනතාව අන්ත අසරණ වන විට ජවිපේ නායකයන් සැපවත් ජිවිත ගත කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,021ක් කුඩා ගම්මාන 50,964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොරටුමුල්ලෙන් ආරම්භ විය