ආණ්ඩුවට විරෝධය පළ කරන නුගේගොඩ ජන රැලියට ජන ගඟක්...ලැබෙන පළමු අවස්ථාවෙම ආණ්ඩුව පෙරළනවා–නාමල්

ආණ්ඩුවට විරෝධය පළ කරන නුගේගොඩ ජන රැලියට ජන ගඟක්...ලැබෙන පළමු අවස්ථාවෙම ආණ්ඩුව පෙරළනවා–නාමල්

බොරුව නවත්වා වැඩ කරන එක පටන් ගන්නා ලෙසත් එසේ නොවුණොත් ලැබුණු පළමු අවස්ථාවේම ආණ්ඩුව පලවාහැරීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ මහතා ඊයේ (21දා) නුගේගොඩ ආණ්ඩුවට එරෙහිව පැවති ‘මහා ජනහඬ’ ජන රැලිය අමතා පැවසීය. විපක්‍ෂයේ පක්‍ෂ ගණනාවක් ඒකාබද්ධව නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වූ ජන රැලියට රටපුරා විවිධ ප්‍රදේශවලින් පැමිණි විශාල ජනතාවක් එක්ව සිටියහ. අවට මහා මාර්ග ඇතුළු මුළු ප්‍රදේශයම ජනතාවගෙන් පිරී ඉතිරී තිබිණි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්‍ෂ මහතා මෙසේ ද කීවේය.

අද මේ රටේ ජනතාවට ප්‍රශ්න කප්පරක් තියෙද්දී ආණ්ඩුව ජනතාවගෙන් බදු ගහලා හූරගෙන කාපු සල්ලිවලින් කැබ්රථ 1700ක් ගෙන්වනවා. මේ අය පොරොන්දු වුණේ මේවාද?

එදා ආණ්ඩුවේ නායකයෝ අමුඩෙ ගහගෙන කුඹුරට බැස්සේ. ඒ නායකයෝ අද ටයි කෝට් දාගෙන කොළඹට වෙලා ඉන්නවා.

අපි මේ රටේ රාජ්‍ය සේවකයාගෙන් ඉල්ලීමක් කරනවා. ඔබලා කොන්ද කෙලින් තියාගෙන හරි දේ කරන්න. ආණ්ඩුවත් එක්ක තියන දේශපාලන ප්‍රශ්න අපි විසඳා ගන්නම් කියලා.

ඒ වගේම අපි ජනාධිපතිවරයාටත් කියනවා අපි හැමෝම එකතුවෙලා අද නැවක් හදලා තියෙනවා. නැව හැදුවේ මුහුදේ නැංගුරම් දාලා තියාගන්න නෙමෙයි. මොන බාධක ආවත් අපි මේ නැව ඉදිරියටම ගෙනහිල්ලා ඔබතුමාගේ ආණ්ඩුව කුඩුපට්ටම් කරනවා කියලා.

ඉතිහාසයේ පළමු වතාවට මේ රටේ සංස්කෘතිය රාජ්‍ය අනුග්‍රහය ඇතිව විනාශ කරන ආණ්ඩුවක් අද බිහිවී තිබෙනවා. මේවා පෙන්වා දෙනකොට අපි ජාතිවාදීන් කියලා හංවඩු ගහනවා. අපි ආණ්ඩුවට කියනවා ජාතිවාදය නෙමෙයි මහත්තයෝ ඇත්ත ඇති සැටියෙන් දකින්න අපිට කොන්දක් තියෙනවා.

මෙම ජන රැලියට පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල, එ.ජා.ප. නියෝජ්‍ය ලේකම් හරීන් ප්‍රනාන්දු, නීතිඥ ප්‍රේමනාත් සී, දොලවත්ත, චාමර සම්පත් දසනායක, නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර, එ.ජා.ප. මහලේකම් තලතා අතුකෝරළ, ශ්‍රී.ල.නි.ප. සභාපති නිමල් සිරිපාල ද සිල්වා, එ.ජා.ප. සභාපති වජිර අබේවර්ධන, සාගල රත්නායක, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද අමරවීර, මහාචාර්ය ජී. එල්. පීරිස්, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, අසංක නවරත්න, සරත් වීරසේකර, දුමින්ද දිසානායක, සමන් රත්නප්‍රිය, ලසන්ත අලගියවන්න, ටිරාන් අලස් යන දේශපාලන පක්‍ෂවල නායකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ

Search