මත්දුව්‍ය ජාලයේ මුදුනම බිඳිනවා – ජනපති තංගල්ලේදී කියයි.

මත්දුව්‍ය ජාලයේ මුදුනම බිඳිනවා – ජනපති තංගල්ලේදී කියයි.

රටම එකට’ ජාතික මෙහෙයුම දකුණේ ඇරඹුම නොනවතින මෙහෙයුමක් දැන් ක්‍රියාත්මකයි. එම මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය හා අපරාධ ව්‍යසනය පරාජය කිරීම කිසි ලෙසකින්වත් අත්නොහරින බවත්, එම දූෂිත ජාලය මෙහෙයවන මුදුන්මුල් බිඳීම දක්වා එම කටයුත්ත අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

විෂ මත්ද්‍රව්‍ය වනසන ‘රටම එකට’ ජාතික මෙහෙයුම් දකුණු පළාතේ ඇරඹුම තංගල්ලේදී ඊයේ (20 දා) ඇරඹුණු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව කීය.

විෂ මත්ද්‍රව්‍ය ජාලය බිඳ දැමීමට ආරක්‍ෂක අංශ ඇතුළු මුළු නිලධාරී යාන්ත්‍රණයත් සියලු ජනතාවත් ඒ දෙසට යොමු කරද්දී එම අවධානය වෙනතකට යොමු කිරීමට මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධව සිටි දේශපාලනඥයන් උපයාගත් මුදල් විශාල ලෙස වැයකරමින් මහජන උද්ඝෝෂණ පෙළපාලි හා වෙනත් දේ සංවිධානය කරන බව ද ජනාධිපතිවරයා කීය.

විෂ මතට එරෙහිව ජනතාව පෙළ ගැස්සවීම හා ව්‍යසනයෙන් රට බේරා ගැනීම අද රටේ ඇති ප්‍රධානතම ජාතික කාර්යය බව ද ඒ සඳහා සියලු දෙනා එක්සිත්ව පෙළගැසිය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අද කිසිදු අපරාධකරුවකුට මත් ජාවාරම්කරුවකුට දේශපාලන රැකවරණ ලැබෙන්නේ නැති බව ද මේ ව්‍යසනය නිමා කිරීමට ආණ්ඩුවට ජනවරමක් ලැබුණු බව ද කීය. එදා ජුලම්පිටියේ අමරේලාගේ අතට බලය පොම්ප කළේ කවුද යන්න විමසූ ජනාධිපතිවරයා එවැනි දේශපාලකයන් මේ මෙහෙයුම් අඩාල කිරීමට විවිධ කුමන්ත්‍රණ මෙහෙයවන බව ද කීය.

අප මාතෘභූමියේ දූ දරුවා සහ රට, සමාජය සහමුලින් විනාශ කරන්න ගෙනෙන මත් ද්‍රව්‍යවලින් ඇතැමුන් විශාල ධනයක් උපයා ගන්නවා. එක බෝට්ටුවකින් එවැනි විශාල මහා ධනයක් උපයා ගන්නවා. ඊයේ රාත්‍රී තංගල්ලට නුදුරින් ඈත මුහුදේ තවත් මත් කුඩු බෝට්ටුවක් නාවික හමුදාව සොයා ගත්තා. එය අද රාත්‍රියේ ගොඩබිමට ගෙන ඒමට නියමිතයි.

ඇත්ත ප්‍රශ්නය යටගහලා ඔවුන් කෘතිම ප්‍රශ්න නිර්මාණය කරලා ඒවාට සමාජය කැඳවන්න උත්සාහ කරනවා. සමාජය ඉලක්ක සහගතව සියලු දෙනා මෙහෙයවන විට ඊට ව්‍යාකූලත්වයක් හදලා වෙනතකට යොමු කරන්න හදනවා. අපි ඒ බොරු වළේ වැටෙන්නේ නෑ.

මහා සංඝරත්නය මේ ව්‍යසනය වැළැක්වීමට මැදිහත්වන්න. එක් පැත්තකින් විෂ මත්ජාලය බිඳ දමනවා වගේම අනෙක් පැත්තෙන් තරුණයන් පුනරුත්ථාපනය කරනවා යැයි ද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

Search