විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ කළ සංචාරය අතරතුර එන්ඩීටීවී (NDTV) නාලිකාව සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය පහතින්
මාධ්‍යවේදිනිය: මගේ පළමු ප්‍රශ්නය මෙයයි: ඔබ ඉතා වැදගත් සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටිනවා. ඔබ මෙහිදී ප්‍රධාන පාර්ශ්වකරුවන් හමුවුණා. මෙම සංචාරයේ මූලික අරමුණ කෙටියෙන් පැහැදිලි කළහොත්,
ඔබ අවධානය යොමු කරන ප්‍රධාන ප්‍රමුඛතා ක්ෂේත්‍ර එකක්, දෙකක් හෝ තුනක් මොනවාද?
සජිත් ප්‍රේමදාස: ඉතා කෙටියෙන් පවසනවා නම්, මෙම සංචාරයේ අරමුණ වන්නේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ අපගේ සබඳතා ප්‍රගතිශීලීව ඉදිරියට ගෙන යමින්, එය අප රටවල් දෙකටම සහ අපගේ ජනතාවට සෞභාග්‍යය උදා කර දෙන බවට සහතික වීමයි. ඒ අනුව, අප රටවල් දෙකටම සහ දෙරටේම ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ඵලදායී, නිර්මාණාශීලී සහ අවංක සහයෝගීතාවයක් ප්‍රවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
මාධ්‍යවේදිනිය: සහයෝගීතාවය සහ සම්බන්ධ වීම ගැන කතා කරන විට, පසුගිය වසර කිහිපය තුළ ඉන්දියාව ශ්‍රී ලංකා ආර්ථිකය සහ සමාජය වෙනුවෙන් ඉතා වැදගත් දායකත්වයක් ලබා දී තිබෙනවා. මෙම සබඳතාවය තවදුරටත් ගොඩනැගීම සහ ශක්තිමත් කිරීම සඳහා ඉන්දියාව ඉදිරියේදී වැඩි අවධානයක් යොමු කළ යුතු ක්ෂේත්‍ර මොනවා යැයි ඔබ සිතනවාද?
සජිත් ප්‍රේමදාස: ශ්‍රී ලංකාවේ ප්‍රතිසාධන ක්‍රියාවලිය (recovery process) තුළ ඉන්දියාවට ඉතා තීරණාත්මක කාර්යභාරයක් පැවරී තිබෙනවා. මෑත කාලයේදී අපි ත්‍රිත්ව ඛේදවාචකයන්ට මුහුණ දුන්නා: පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය, කොරෝනා (COVID) සෞඛ්‍ය ව්‍යසනය සහ ආර්ථික බංකොලොත්භාවය. මෙම සිදුවීම් තුන නිසා ශ්‍රී ලාංකික ජනතාව දැඩි පීඩාවකට සහ දුෂ්කරතාවයකට පත්වුණා.
ශ්‍රී ලංකාවට සහය දුන් විශාලතම තනි රට වශයෙන්, ඩොලර් බිලියන 4.2 ක පමණ ආධාර ලබා දීම ගැන අතිගරු ශ්‍රී මෝදි මැතිතුමාට, ඉන්දීය රජයට සහ ඉන්දීය ජනතාවට අපි බෙහෙවින් කෘතඥ වෙනවා. ලබා දුන් සහයෝගය අපි ඉතා අගය කරනවා.
නමුත් මෙම ආර්ථික පීඩාවෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ආයෝජන, ව්‍යාපාර ප්‍රවර්ධනය සහ වැඩි දියුණු කළ සංවර්ධන සහයෝගීතාවයක් අවශ්‍ය වෙනවා. මෙම ආර්ථික පීඩාව නිසා අපගේ සමාජයෙන් 40% සිට 50% දක්වා ප්‍රමාණයක් විවිධ දිළිඳුකම්වලින් පීඩා විඳිනවා - එනම් ආදායම් දිළිඳුකම, පරිභෝජන දිළිඳුකම, ආයෝජන දිළිඳුකම සහ ඉතුරුම් දිළිඳුකම වැනි දේ. ශ්‍රී ලංකාව මෙම සියලු බාධක සහ අභියෝග ජය ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටිනවා.
ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාවය වඩාත් හොඳ සහයෝගීතාවයකට පරිවර්තනය වුවහොත් එය ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. එමගින් ශ්‍රී ලංකාවට සිය වර්ධන වැඩසටහන වේගවත් කළ හැකියි. මන්ද 2028 වසර අපට "තීරණාත්මක වසරක්" (decision year) වන බැවිනි. ඊට හේතුව, අපට අපගේ විදේශ ණය වගකීම් ගෙවීම ආරම්භ කිරීමට සිදුවීමයි. එය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 4 සිට 4.5 දක්වා ප්‍රමාණයක් වෙනවා.
ඉදිරි වසර 3න් පසුව, 2028 සිට ශ්‍රී ලංකාවට ද්විපාර්ශ්වික ණය හිමියන්ට, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISBs) හිමියන්ට සහ අප ණය වී සිටින අනෙක් අයට වාර්ෂිකව ඩොලර් බිලියන 4ක් ගෙවීමට සිදුවෙනවා. විදේශ ණය ගෙවීම් එහි විශාලතම ස්වරූපයෙන් ආරම්භ වන්නේ 2028 දීය. අප දැනටමත් පොලී කොටස් ගෙවීම ආරම්භ කර තිබෙනවා.
ණය ගෙවීමේ මාර්ග සිතියමට අනුව යමින් එම වගකීම් ඉටු කිරීමට නම්, අපට වේගවත් ආර්ථික වර්ධන වේගයක් අවශ්‍යයි - අවම වශයෙන් වාර්ෂිකව 5% ක්වත්. අපට සැලකිය යුතු විදේශ විනිමය සංචිතයක් තිබිය යුතුයි, අපගේ විදේශ ප්‍රේෂණ වැඩි දියුණු කර ගත යුතුයි, වඩා හොඳ අපනයන මූලික කරගත් සංවර්ධනයක් සහ ආදායමක් තිබිය යුතුයි.
සියල්ලටම වඩා වැදගත්ම දේ නම්, ශ්‍රී ලංකාවට මහා පරිමාණ විදේශ සෘජු ආයෝජන (Foreign Direct Investment) අවශ්‍ය වීමයි. මෙහිදී ඉන්දියාවට ඉතා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව මම විශ්වාස කරනවා. ඉන්දියාවට වැදගත් ආයෝජකයෙකු විය හැකියි. ඉන්දියාවේ රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකෙහිම පවතින ප්‍රාග්ධන අතිරික්තයන් (capital surpluses) ආයෝජන කටයුතු සඳහා යොදා ගත හැකියි. අපට හවුල් ව්‍යාපාර ආරම්භ කළ හැකියි, එකට වැඩ කළ හැකියි, සහ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කරන ආයතන පිහිටුවිය හැකියි. 2028 දී අපගේ වගකීම් ඉටු කිරීමට හැකි වන පරිදි ආර්ථික වර්ධනය වේගවත් කිරීම අපගේ සම්මතය විය යුතුයි - එය වේගවත්, සාධාරණ සහ සැමට බෙදී යන සෞභාග්‍යයක් විය යුතුයි.
මාධ්‍යවේදිනිය: ඔබ ව්‍යාපාරික සහ ආයෝජන දෘෂ්ටි කෝණයෙන් බොහෝ අංශ පෙන්වා දුන්නා. ආර්ථික සහ දේශපාලන ක්ෂේත්‍ර දෙකම තේරුම් ගත් අයෙකු ලෙස, පසුගිය වසරක කාලය තුළ ජනාධිපතිතුමාගේ පාලනය ගැන ඔබ සිතන්නේ කුමක්ද? මන්ද ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආර්ථික ගමනේ එය ඉතා වැදගත් හැරවුම් ලක්ෂයක් වී තිබෙනවා. ඔබ එය වර්ගීකරණය කරන්නේ කෙසේද? සහ ඉදිරියට යාමේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වඩාත් සමීපව කටයුතු කළ හැකි නිශ්චිත අංශ මොනවාද?
සජිත් ප්‍රේමදාස: මගේ ප්‍රතිපත්තිය වන්නේ ශ්‍රී ලංකාවේ කුමන ආණ්ඩුවක් බලයේ සිටියත්, අපි විදේශගතව සිටින විට ප්‍රධාන දේශීය ප්‍රශ්න ගැන කතා නොකිරීමයි. කෙසේ වෙතත්, ප්‍රකාශන සහ ක්‍රියාවන් අතර, එනම් පොරොන්දු සහ ඒවා ඉටු කිරීම අතර විශාල පරතරයක් ඇති බව මට ඉතා පැහැදිලිව කිව හැකියි.
අපේ රටේ සියලුම ජනතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ අනෙකුත් විදේශීය ණය හිමියන් (ද්විපාර්ශ්වික ණය හිමියන්, ISBs සහ බහුපාර්ශ්වික ආයතන) සමඟ නව "ණය තිරසාරතා විශ්ලේෂණයක්" (New Debt Sustainability Analysis - DSA) බලාපොරොත්තු වුණා. නමුත් එය සිදු වී නැහැ. අපි තවමත් ගමන් කරමින් සිටින්නේ පැරණි කොන්දේසි සහ ප්‍රතිපත්ති මතයි. මේවා අපේ රටේ ජනතාවට විශාල පීඩාවක් සහ දුෂ්කරතාවයක් ඇති කර තිබෙනවා.
විදුලි බිල, පාරිභෝගික භාණ්ඩ මිල ගණන් සහ විවිධ මිල සූත්‍ර සකස් කර ඇත්තේ සාමාන්‍ය ජනතාවට අහිතකර ලෙසයි. ඒ නිසා අපි වෙනස් විය යුතුයි. ශ්‍රී ලංකාවේ බහුතරයක් වන නිහඬ සාමාන්‍ය ජනතාව මත මෙවැනි පීඩාවන් පටවමින් අපට ඉදිරියට යා නොහැකියි.
මම ඔබට හොඳ උදාහරණයක් දෙන්නම්. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී (Domestic Debt Restructuring), සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF) වැනි කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල් ප්‍රතිව්‍යුහගත කරනු ලැබුවා. නමුත් සමාජයේ මහා ධනවතුන් නියෝජනය කරන ප්‍රාථමික බැඳුම්කර ගනුදෙනුකරුවන් (primary bond dealers) සහ බැංකු ක්ෂේත්‍රය ස්පර්ශ කළේ නැහැ. ප්‍රතිව්‍යුහගත කිරීමේදී බරක් දැරීමට සිදුවේ නම්, එය මුළු සමාජයම දැරිය යුතුයි. යම් හෙයකින් වැඩි බරක් දැරිය යුත්තේ සමාජයේ මහා ධනවතුන් මිස පාරේ යන සාමාන්‍ය මිනිසුන් නොවේ.
අප ඉදිරියට යන ආකාරය සම්බන්ධයෙන් අප අතර ඇති වෙනස මෙයයි. පවතින ඉහළ දිළිඳුකම් මට්ටම් ආර්ථික වර්ධනයට බාධාවක් ලෙස ක්‍රියා කරනවා. එය ඉතුරුම්, පරිභෝජන, නිෂ්පාදන හෝ ආයෝජන යන කුමන ආකාරයේ දිළිඳුකමක් වුවත්, එය සම්පත් වැරදි ලෙස බෙදා හැරීමක් (misallocation of resources). ආර්ථික විද්‍යාව ගැන සුළු හෝ දැනුමක් ඇති අයෙකු දන්නවා, සම්පත් නිසි ලෙස භාවිතා නොවන විට, ඔබ සිටින්නේ නිෂ්පාදන ශක්‍යතා වක්‍රයේ (production possibility curve) නොවන බව. ඔබ ඔබේ පූර්ණ විභවය සාක්ෂාත් කර ගන්නේ නැහැ. ණය ගෙවීමේ අභියෝගවලට මුහුණ දීමට නම් එම විභවය සාක්ෂාත් කර ගත යුතුමයි.
මාධ්‍යවේදිනිය: ඔබ ඉතා වැදගත් කරුණක් මතු කළා. ඉන්දියා - ශ්‍රී ලංකා සබඳතාවය ගැන කතා කරන විට, පසුගිය මාසයේ අගමැතිතුමා ද මෙහි පැමිණියා. දැන් ඔබත් මෙහි පැමිණ ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරනවා. නවදිල්ලිය සහ කොළඹ එක්ව වැඩ කිරීමෙන් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් වීම පමණක් නොව, වේගයෙන් දියුණු විය හැකි බව අදහසයි. නමුත් ඒ අතරතුර, අප වටා සිදුවන භූ දේශපාලනික වෙනස්කම් ද මතක තබා ගත යුතුයි. කලාපය තුළ චීනයේ වර්ධනය වන පැවැත්ම ගැන නවදිල්ලියේ බොහෝ දෙනා සැලකිලිමත් වෙනවා. විපක්ෂ නායකතුමනි, චීනයේ පැවැත්ම සම්බන්ධයෙන් දිල්ලි ජනතාවට ඇති මෙම සැකය ගැන ඔබේ අදහස කුමක්ද?
සජිත් ප්‍රේමදාස: ඉන්දියාවට ශ්‍රී ලංකාව ගැන කිසිදු සැකයක් ඇති කර ගත යුතු නැහැ. ඔබේ රට සමඟ ඉතා සමීපව කටයුතු කිරීමට අපි සූදානම්. ඇත්ත වශයෙන්ම, මම කියන්න කැමතියි ශ්‍රී ලංකාවට ඉන්දියාව සමඟ විශේෂ සබඳතාවක් තිබෙන බව. එය එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය අතර රේගන් (Reagan) සහ තැචර් (Thatcher) යුගයේ තිබූ සම්බන්ධයට සමාන දෙයක්. ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාවය ඉතා වැදගත් සහ විශේෂ එකක්. ඊට විශාල ඉතිහාසයක් තිබෙනවා. අපගේ සංස්කෘතික අතීතය සහ ගොඩනැගී ඇති බොහෝ සබඳතා නිසා අපගේ අනාගතය වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතිනවා.
බිලියන 1.4 කට අධික ඉන්දීය වෙළඳපොළට ප්‍රවේශ වීම හරහා ශ්‍රී ලංකාවට වෙළඳාමෙන් විශාල ප්‍රයෝජනයක් ලබා ගත හැකියි. දැනට පවතින නිදහස් වෙළඳ ගිවිසුම (FTA) තවදුරටත් ගොඩනැගීමට අපි පසුබට නොවිය යුතුයි. කෙසේ වෙතත්, මෙම නිදහස් වෙළඳ ගිවිසුම් දෙරටටම ප්‍රතිලාභ ලැබෙන පරිදි, එනම් දෙරටටම තරඟකාරී සහ සංසන්දනාත්මක වාසි (competitive and comparative advantages) ලැබෙන පරිදි සාකච්ඡා කළ යුතුයි. ප්‍රතිලාභ ගැන කතා කරන විට එය අන්‍යෝන්‍ය ප්‍රතිලාභයක් විය යුතුයි.
අපට විශේෂ සබඳතාවක් සහ පොදු අවබෝධයක් ඇති නිසා, ඒ මත ගොඩනැගීමට පොදු ප්‍රවේශයක් සහ රාමුවක් ඇති කර ගත හැකියි. මම හිතන්නේ වැදගත්ම දේ නම්, නූතන ලෝකයේ භූ දේශපාලනය වෙනස් වෙමින් පැවතීමයි. භූ දේශපාලනය මගින් මානව වර්ගයාට ධනාත්මක ප්‍රතිඵලයක් අත්කර දිය යුතුයි. එම ප්‍රතිඵලය ගැටුම් හෝ යුද්ධය නොව සාමයයි. සෞභාග්‍යය සහ වර්ධනය ප්‍රවර්ධනය කිරීමේ මූලික අංගය සාමයයි.
එබැවින් මෙම මහා බලවතුන් අතර පවතින සැකයන් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සහතික කිරීම සඳහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට රටක් වශයෙන් අපි කැමතියි. අන්‍යෝන්‍ය සැකයට තුඩු දී ඇති ඇතැම් වැරදි වැටහීම් සහ ගැටලු විසඳීමේ ක්‍රියාවලියක පවතින බව මට වැටහෙනවා. එය ඉතා හොඳ ලකුණක්, මන්ද අපි සාමය දෙසට ගමන් කරමින් සිටිනවා. සාමය ගොඩනඟන්නෙකු (peacemaker) ලෙස, සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව කැමතියි.
කෙසේ වෙතත්, ඉන්දු - ශ්‍රී ලංකා සබඳතාවය නිසැකවම ඉතා විශේෂ එකක් බවත්, එය වැඩිදියුණු කළ යුතු, සහාය දිය යුතු සහ ආරක්ෂා කළ යුතු බවත් කිව යුතුයි.
මාධ්‍යවේදිනිය: මහා බලවතුන් සම්බන්ධයෙන් සාමය ගොඩනැගීමට ශ්‍රී ලංකාවට ක්‍රියා කළ හැකි බව ඔබ වැදගත් කරුණක් ලෙස පෙන්වා දුන්නා. මෙහිදී අපි කතා කරන්නේ ඉන්දියාව සහ චීනය ගැනයි. දීර්ඝ කාලීන උපායමාර්ගික අංශ ගැන කතා කරන අතරම, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ක්ෂණික සහ දිගින් දිගටම පවතින ගැටලුවක් ගැන මතු කිරීමට මට අවශ්‍යයි. එනම් ධීවර ගැටලුවයි. අද අපි කතා කරන විටත්, පසුගිය මාසය තුළ ධීවරයින් අත්අඩංගුවට ගත් දෙවන අවස්ථාව මෙයයි. මෙය ඇත්ත වශයෙන්ම විසඳිය හැක්කේ කෙසේද? මන්ද ඔබ කතා කරන්නේ විශාල සාකච්ඡා මැද සිරවී සිටින දුප්පත් ධීවර ප්‍රජාවන් ගැනයි.
සජිත් ප්‍රේමදාස: මෙම ගැටලුවට තිරසාර ස්ථිර විසඳුමක් ලබා දීම සඳහා දැනට පවතින යාන්ත්‍රණ ඉතා දුර්වලයි. එබැවින් මෙම ආරවුල විසඳීම සඳහා වඩාත් සංක්ෂිප්ත සහ නිශ්චිත රාමුවක් අපට අවශ්‍ය වෙනවා. මෙම රාමුව ජාත්‍යන්තර සම්මුතීන්, චාරිත්‍ර සහ නීති මත, විශේෂයෙන්ම මුහුදු නීතිය (Law of the Sea), භෞමික ජලය, මහාද්වීපික තටාකය සහ විශේෂ ආර්ථික කලාපයට (EEZ) අදාළ නීති මත පදනම් විය යුතුයි.
පළමුව කළ යුත්තේ නිසි රාමුවක් ස්ථාපිත කිරීමයි. දැනට පවතින ව්‍යුහයන් හෝ රාමු මෙම ගැටලුව විසඳීමට ප්‍රමාණවත් යැයි මම සිතන්නේ නැහැ. පළමුවෙන්ම පොදු අවබෝධයක් සහ එම රාමුව කුමක් විය යුතුද යන්න පිළිබඳ එකඟතාවයක් තිබිය යුතුයි. එය ගෝලීය ප්‍රජාවේ බොහෝ ජාතීන් එකඟ වී ඇති ජාත්‍යන්තර නීති මත ගොඩනැගිය යුතුයි.
මෙම ආයතනික ව්‍යුහයන් සහ රාමු ස්ථාපිත කළ පසු, අපි එය විවිධ පාර්ශ්වකරුවන් වෙත දැනුම් දිය යුතුයි, සීමාවන් සලකුණු කළ යුතුයි. ඒ වගේම ධීවර කර්මාන්තයක් ලෙස, නියාමනය නොකළ, නීති විරෝධී සහ වාර්තා නොකළ ධීවර කටයුතු (IUU fishing) අනුමත කළ නොහැකි බව සහතික කළ යුතුයි. එය ජාත්‍යන්තරව පිළිගත් සම්මතයක්. අපට එම සම්මතයන්ගෙන් බැහැර විය නොහැකියි. එබැවින් මම යෝජනා කරන විසඳුම වන්නේ මෙම ගැටලුව විසඳීම සඳහා නිසි, ඒකාබද්ධ සහ නිශ්චිත නව රාමුවක් ස්ථාපිත කිරීමයි.
මාධ්‍යවේදිනිය: හොඳයි, එය ඉක්මනින් සිදුවනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. මන්ද මෙය සෑම මට්ටමකදීම දිගින් දිගටම මතු වන ගැටලුවක්. සර්, NDTV සමඟ කතා කිරීම ගැන ඔබට බොහොම ස්තූතියි