හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවදුරටත් රාජ්‍ය නායකත්වයේ පීඩනය දරාගත නොහැකි බවත්, එබැවින් ඔහුට පාඩුවේ සිටීමට දිය යුතු බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.
“අනේ මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පාඩුවේ ඉන්න දෙන්න. එතුමා දැන් ලෙඩෙක් කියලා ඔයාලට දැන් ඔප්පු වෙනවනේ. ඒ මනුස්සයට බෑ කියලා ඔප්පු වෙනවනේ.“
අද (30) තම නඩුවේ සාක්ෂි විභාගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළා.
හිටපු ජනාධිපතිවරයාගේ වයස සහ ඔහු දරන පීඩනය පිළිබඳව එහිදී අදහස් පළ කළ ඇය, තමන්ට නම් “පිඟානක දාලා දුන්නත් මේ ස්ට්‍රෙස් එක ගන්න බැහැ ” යනුවෙන් සඳහන් කළා.
එක්සත් ජාතික පක්ෂයට තරුණ නායකයින් බඳවා ගනිමින් එම පක්ෂය තුළ තරුණ නායකත්වයක් ඇති කළ යුතු බවට උපදේශකයෙක් ලෙස ජනාධිපතිවරයාට තමන් යෝජනා කරන බව ඩයනා ගමගේ මහත්මිය පවසනවා.
රනිල් වික්‍රමසිංහ මහතාව ඉදිරියට දමා බලය ලබා ගැනීමට සූදානම් වීම විහිළුවක් බවයි ඇය සඳහන් කළේ.
රජයේ ක්‍රියාමාර්ග වැරදි නම් පෙන්විය යුතු බව පිළිගත්තද, වත්මන් විපක්ෂයේ දේශපාලනය මඩ ගැසීම් සහ ඕපාදූපවලට පමණක් සීමා වී ඇති බවට ඩයනා ගමගේ මහත්මිය දැඩි විවේචනයක් එල්ල කළා.
මනුෂ්‍යයන්ගේ පෞද්ගලික, කැත ලස්සන ආදිය කතා කිරීමට පාර්ලිමේන්තුව යොදා ගැනීම විහිළුවක් බව ඇය එහිදී පවසා සිටියා.
එමෙන්ම තමන්ට කිසිදු පක්ෂයක සමඟ විශේෂ සබඳතාවයක් නොමැති බව ඇය අවධාරණය කළා.
මේ අතර, ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබූ නඩුවේ සාක්ෂි විභාගය අද (30) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දී ආරම්භ වී තිබුණා.
ඇයට එරෙහිව නඩු පවරා ඇත්තේ විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේදී අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සහ වලංගු වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටීම යන ප්‍රධාන චෝදනා දෙකක් යටතේයි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී, චෝදනා හතටම තමන් නිවැරදිකරු බවට ඇය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
රජයේ නීතිඥ අකිලා ධර්මධාතු මහත්මියගේ මෙහෙයවීම යටතේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරිණියක් වන හංසිකා කුමාරසිරි මහත්මියගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.
නීතිපතිවරයාගේ උපදෙස් මත චෝදනා 07ක් යටතේ මෙම නඩුව ගොනු කර තිබුණා.
කෙසේවෙතත් නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 15 වැනිදා දක්වා කල් තබනු ලැබුවා