සජබයෙන් දේශපාලන බල පෙරළියකට කුමන්ත්‍රණ නැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන

සජබයෙන් දේශපාලන බල පෙරළියකට කුමන්ත්‍රණ නැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන

යම් යම් කණ්ඩායම් සමඟ එකතු වෙලා දේශපාලන තීන්දු තීරණ ගෙන ඇති නමුත් සමගි ජනබලවේගය එවැනි පක්ෂයක් නොවන බවත් සමගි ජනබලවේගය වෙනත් පක්ෂ සමඟ එකතු වී දේශපාලන බල පෙරළියක් සිදුකරන්න කටයුතු කළේ නැතැයි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.


සමගි ජනබලවේගය ප්‍රතිපත්තිමය වශයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව එකඟතාවයකට පැමිණ එම එකඟතාවයන් මත දේශපාලන තීන්දු තීරණ ගැනීමට කටයුතු කරනවා හැර බලය ලබාගැනීමේ පරමාර්ථයෙන්ම කටයුතු කරන්නේ නැතැයිද එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (28දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද කීය.

කඩා වැටී තිබී ගොඩගනිමින් තිබුණ ශ්‍රී ලංකාව නැවත කඩා වැටීම ලක් වී තිබෙනවා.ඒ බව රටේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් දෙස බැලූ විට පෙනෙන්න තිබෙනවා. ඒ වගේම ජාතික ජනබලවේග ආණ්ඩුවට රටේ බලය ලැබුණහොත් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ගොඩගැනීම නොහැකි බවත් රටේ ජනතාවගේ සාක්කුවට ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වන බවත් ඒ සම්බන්ධයෙන් කල්පනාවෙන් කටයුතු කරන ලෙසත් සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව රටේ ජනතාව දැනුවත් කරන්න කටයුතු කළා. සමගි ජනබලවේගයේ නායකයා සහ සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව ප්‍රකාශ කළ දේ අද යථාර්තයක් බවට පත්වී තිබෙනවා.

ජනාධිතිවරණය පැවැති 2024 සැප්තෑම්බර් අග රු.බි. 28,574.65 ක් වූ රජයේ සමස්ත නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය 2025 ජුනි අවසානය දක්වා වූ මාස 9 ක කාලය තුළ රු. බි. 29,634.78 දක්වා එනම්, රු.බි. 1,060.13 කින් ඉහළ ගොස් තිබේ. ඒ වගේම අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත් වූ 2024 සැප්තෑම්බර් මස අවසානයේ සිට ජුනි දක්වා ලංකාවේ දේශීය ණය රු. බිලියන 17,595.05 සිට රු. බිලියන 18,806.08 දක්වා රු.බි. 1,211.03 කින් වැඩිවී තිබෙනවා. එම කාලය තුළ රු.බි. 10,429.04 ක් වූ විදේශ ණය ප්‍රමාණය රු. බි. 10,828.70 දක්වා රු.බි. 399.66 කින් වැඩිවී තිබෙනවා. මේ අනුව, මේ වසර ආරම්භයේ දී රු.බි. 28,738.70 ක් වූ, ශ්‍රී ලංකා ජනරජයේ සමස්ත ණය ප්‍රමාණය ජුනි මස අවසානය වන විට රු. බි. 29,634.78 දක්වා රු.බි. 896.08 කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම 2024/25 වර්ෂය සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව රු බිලියන 7.5 ක් නමුත් 2023/24 ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලැබූ ලාභය රුපියල් බිලියන 3.8 ක්. කෙසේ නමුත් රට සංවර්ධනය කිරීමට, ආර්ථිකය කළමනාකරණය කිරීමට ආණ්ඩුවට හැකියාවක් නැහැ. රටේ පැවැති ආණ්ඩුව පවත්වාගෙන යා නොහැකි ආණ්ඩුවක් බවට වර්තමාන ආණ්ඩුව පත් වී තිබෙනවා.

සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයේ වැට් බද්ද ඉවත් කරන බව පළමු අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පොරොන්දු වුණා. නමුත් එය සිදුකළේ නැහැ. කෙසේ නමුත් රටේ ජනතාවට බොරු පොරොන්දු ලබාදීලා සෞඛ්‍ය ඇතුළු සෑම ක්ෂේත්‍රයකටම අධික බද්දක් අය කරන්න ආණ්ඩුව කටයුතු කරනු ලබනවා. ඒ වගේම දෙමාපියන්ට දරුවන් සඳහා අවශ්‍ය කරන පාසල් උපකරණ ලබාදීමට නොහැකිව දැඩි අසරණභාවයකට පත් ව තිබෙනවා. ඒ වගේම දරුවන්ට ලබාදෙන පෙළපොත් නැවත ලබානොදීමටත් ආණ්ඩුව තීරණයක් ගෙන තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ වගේම ජනතාවට පොරොන්දු වුණ පරිදි පොරොන්දු පත්‍රය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම වර්තමාන ආණ්ඩුව විපක්ෂයේ සිටින විට විවිධ උද්ඝෝෂණ, වර්ජන හමුවේ නතර කළ ඇතැම් ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ආණ්ඩුවට සිදුවී තිබෙනවා. නමුත් ඒ සඳහා මේ වනවිට විශාල මුදලක් වැය කිරීමත් සිදුව තිබෙනවා. ඒ වගේම පසුගිය ආණ්ඩු විසින් ආරම්භ කළ ව්‍යාපෘති නැවත විවෘත කිරීමටත් වර්තමාන ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.

ආණ්ඩුවට දැනෙන වැඩළිවෙළක් ගම් මට්ටමින් ක්‍රියාත්මක කරන්න සමගි ජනබලවේගය කටයුතු කර තිබෙනවා. සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගමින් ගමට ගොස් ගම්වල ජනතාව දැනුම්වත් කරමින්, ඔවුන්ගේ අදහස් ලබාගනිමින් ගමත් සමඟ රට ගොඩනැගීමේ දේශපාලන ක්‍රියාවලියකට මුල පිරීමට සමගි ජනබලවේගය කටයුතු කර තිබෙනවා. ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ඉදිරි දේශපාලන වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්නත් කටයුතු කරනු ලබනවා. ඒ වගේම අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ඉදිරියේදී වැඩ කටයුතු කරන ආකාරය පිළිබඳවත් සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සමඟ සාකච්ඡා කර තීන්දු තීරණවලට එළඹෙන්න කටයුතු කරනු ලබනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කිරීමට කමිටුවක් ස්ථාපිත කොට තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය කටයුතු කරන ආකාරය පිළිබදව එම කමිටු වාර්තාව නිකුත් වුණාට පසුව බලාගන්න හැකියාව තිබෙනවා.

ඒ වගේම සමගි ජනබලවේගය අනෙකුත් පක්ෂ සමඟ එකතු වෙන්නේ ප්‍රතිපත්තිමය වශයෙන්. පුද්ගලානුබද්ධව එකතු වීමක් සිදුවන්නේ නැහැ. ඒ වගේම අනුර දිසානායක මහතා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය සමඟ, මහින්ද රාජපක්ෂ මහතා සමඟ, මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එකතු වී වැඩ කටයුතු සිදුකළා. ඒ අනුව අනුර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු පිරිසත් දේශපාලන තීන්දු තීරණ ගැනීමේදී යම් යම් කණ්ඩායම් සමඟ එකතු වෙලා දේශපාලන තීන්දු තීරණ ලබාගෙන තිබෙනවා. නමුත් සමගි ජනබලවේගය එවැනි පක්ෂයක් නෙවෙයි. සමගි ජනබලවේගය වෙනත් පක්ෂ සමඟ එකුවෙලා දේශපාලන බල පෙරළියක් සිදුකරන්න කටයුතු කළේ නැහැ. සමගි ජනබලවේගය යම් දේශපාලන තීන්දුවක් ගැනීමේදී ඒ පිළිබඳව සාකච්ඡා කොට, ප්‍රතිපත්තිමය වශයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව එකඟතාවයකට පැමිණ එම එකඟතාවයන් මත දේශපාලන තීන්දු තීරණ ගැනීමට කටයුතු කරනු ලබනවා. ඒ හැර බලය ලබාගැනීමේ පරමාර්ථයෙන්ම කටයුතු කරන්නේ නැහැ. ඒ වගේම සමගි ජන සන්ධානය සමඟ පක්ෂ කිහිපයක්ම එකතු වී සිටිනවා. රිෂාඩ් බදියුදින්, රාවුෆ් හකිම්, මනෝ ගනේෂන්, දිගම්බරම්, රාධා ක්‍රිෂ්ණා වැනි නායකයන් සමගි ජනබලවේගය සමඟ මැතිවරණ 4 කට ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ වගේම රාජපක්ෂවරු සමඟ සිටි චරිත හේරත්, ජී.එල්. පීරිස් මහතා ඇතුළු පිරිසක්ද සමගි ජනබලවේගය සමඟ එකතු වුණා. දේශපාලන ප්‍රවාහය තුළ වගකීමක් දැරීමට හැකි කණ්ඩායම් සමඟ සමගි ජනබලවේගය කටයුතු කර තිබෙනවා.

Search