හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දී තිබූ වෙඩි නොවදින රථයද අද බාර දුන් බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසීය.
මේ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ජීවිතය අනතුරක පවතින බව ඔහු පෙන්වා දෙයි.
ඔහු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සිදු කළ සම්පූර්ණ විස්තරය පහතින්
"පසුගිය සැප්තැම්බර් මස 24 වැනි දා ජනාධිපති ලේකම්තුමා විසින් අප වෙත දන්වා තිබුණේ, ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත ක්‍රියාත්මක වීමෙන් පසුව, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිල වාහන සියල්ල සහ නිල නිවස භාර දෙන ලෙසයි. ඒ අනුව, ඊයේ දිනය වන විට අපි එතුමාගේ වෙඩි නොවදින රථය, ආරක්ෂිත රථය සහ ආරක්ෂක නිලධාරීන් ගමන් ගත් රථය භාර දීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව, වෙඩි නොවදින රථය අදාළ සමාගමට භාර ගන්නා ලෙස ද අපි දැනුම් දී තිබෙනවා. මෙම තත්ත්වයත් සමඟ, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඉතා බරපතළ ජීවිත අවදානමකට ලක්වීමේ තත්ත්වයක් මේ වන විට මතුවී තිබෙනවා.
අපි දන්නවා එතුමාට වෙඩි නොවදින රථයක් ලබා දුන්නේ තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීමෙන් අනතුරුව එතුමාගේ ජීවිතයට එල්ල වී ඇති තර්ජන නිසයි. මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජීවිතය බේරුණේ ද ඒ වෙඩි නොවදින රථය නිසයි. නමුත් මේ වන විට මෙම වෙඩි නොවදින රථය පවා නැවත රජයට භාර දීමට සිදුවීම තුළ, එපමණක් නොව, ආරක්ෂක නිලධාරීන්ට ගමන් කිරීමට කිසිදු ආරක්ෂිත රථයක් නොමැති වීම තුළ බරපතළ තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. ආයුධ රැගෙන පෞද්ගලික වාහනවල ගමන් කළ නොහැකි බව අපි දන්නවා.
එවැනි පසුබිමක, වර්තමාන තත්ත්වයත් සමඟ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා බරපතළ අවදානමක් මතු වී තිබෙනවා. මන්ද, මේ වන විටත් දිවයිනේ නන් දෙසින් වැල නොකැඩී ජනතාව එතුමා බැහැදැකීමට පැමිණෙනවා. අඩුම තරමේ මෙම ජනතාව පාලනය කර ගැනීමටවත්, ජනතාවගෙන් එතුමාට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමටවත් පහසුකම් නැහැ. ජනතාව පැමිණෙන්නේ ආදරය නිසා වුවත්, ඒ අතරතුර එතුමාගේ ආරක්ෂාව සැලසීම ආරක්ෂක අංශවල වගකීමක් වනවා.
මේ සඳහා අවශ්‍ය පහසුකම් සහ නිලධාරීන් ප්‍රමාණය පිළිබඳව දැඩි හිඟයක් පවතිනවා. එම නිසා, ඉදිරි සතියේදී විශේෂයෙන්ම පොලිස්පතිතුමා, ආරක්ෂක ලේකම්තුමා මෙන්ම අනෙකුත් ආරක්ෂක ප්‍රධානීන් හමුවී, මෙම තත්ත්වයත් සමඟ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආරක්ෂාවට අවශ්‍ය නිල රථ නැවත ලබා දෙන ලෙස ඉල්ලීමක් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
අපි දන්නවා, එතුමාගේ ජීවිතයට යම්කිසි අවදානමක් මතු වුවහොත්, ඉන් පසුව ඒ ගැන කතා කර වැඩක් නැහැ. ඒ නිසා, අපේ පාර්ශ්වයෙන් ඉටු විය යුතු දේ අපි කිරීමට සූදානම්. ඒ අනුව, ඉදිරි සතියේදී අපි මේ පිළිබඳව රජයට විශේෂයෙන්ම අවධාරණය කරනවා. මෙම පනත ක්‍රියාත්මක වුවද එය ගැටලුවක් නොවේ. එතුමාගේ ජීවිත අවදානම සැලකිල්ලට ගෙන, අවශ්‍ය ආරක්ෂාවට අදාළ සියලු පහසුකම් සලස්වන ලෙස රජයට හැකියාව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් ද ලබන සතියේ අප විසින් සිදු කරනු ලබනවා. වර්තමාන තත්ත්වය මෙයයි. අවසාන වශයෙන් අපට කියන්නට තිබෙන්නේ, මේ වන විට එතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු පහසුකමක් අප සතුව නොමැති බවයි.
ඊයේ දිනයෙන් පසුව, අතිගරු ජනාධිපතිතුමා කිසිසේත්ම නැවත එම රථ භාවිතා කිරීමක් සිදු කරන්නේ නැහැ. මන්ද, සැප්තැම්බර් 24 වැනිදා ජනාධිපති ලේකම්තුමා ඉතා පැහැදිලිව දැනුම් දී තිබෙනවා, මෙම වෙඩි නොවදින රථ ඇතුළු ආරක්ෂක රථ නැවත රජයට භාර දෙන ලෙස. එය ඔවුන්ගේ ඉල්ලීමක් අනුව අප ඉටු කරන දෙයක්. නිල නිවස සම්බන්ධ තත්ත්වයත් අපි ඉතා පැහැදිලිව දැනුම් දී තිබෙනවා. නිවස භාර දීම ප්‍රමාද වී තිබෙන්නේ, එහි රජයට අයත් බඩුබාහිරාදිය තිබෙන නිසයි. රජයට අයත් භාණ්ඩ තිබියදී අපගේ පෞද්ගලික භාණ්ඩ ඉවත් කළහොත්, එහිදී කොස්සක් වැනි සුළු දෙයක්වත් අප අතින් වැරදීමකින් ඉවත් වුවහොත්, "විජේරාම නිවසේ තිබූ කොසු හොරකම් කළා" යැයි කියන මට්ටමේ ආණ්ඩුවක් දැන් පවතින්නේ.
එම නිසා, රජයට අයත් ඇල්පෙනිත්තක්වත් මේ නිවසින් රැගෙන යාමට අපි කැමති නැහැ. රජයේ සියලු ආයතන සතුව ඔවුන්ගේ භාණ්ඩ ලැයිස්තු (inventories) තිබෙනවා. එම ලැයිස්තුවලට අනුව භාණ්ඩ පරීක්ෂා කර, අදාළ රජයේ භාණ්ඩ සලකුණු කිරීම සාමාන්‍යයෙන් සිදු වනවා.
එදින ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එම කාර්යය සිදු වුණා. තවත් රජයේ ආයතන කිහිපයකින් එම කාර්යය සිදු වීමට නියමිතව තිබෙනවා. ඒ සියල්ල අවසන් වූ පසු, ඔවුන්ගේ අධීක්ෂණය යටතේ අපේ භාණ්ඩ ඉවත් කර ගැනීමට අපි සූදානම්. අපි කිසිසේත්ම මේ නිවස උවමනාවෙන් තවදුරටත් රඳවාගෙන නැහැ.
ඒ නිසාමයි ජනාධිපතිතුමා සහ එතුමාගේ පවුලේ සාමාජිකයන් පැය විසිහතරක් ඇතුළත මෙම නිවසින් ඉවත් වුණේ. දැන් තිබෙන්නේ හිස් නිවසක්. තවදුරටත් අපි මෙම නිවස භාවිතා කිරීමක් සිදු වෙන්නේ නැහැ. නමුත්, නිල වශයෙන් භාර දීමට අවශ්‍ය නිල ක්‍රියාමාර්ග රජය පාර්ශ්වයෙන් අවසන් වූ සැණින් මෙම කාර්යය නිම කිරීමේ හැකියාව තිබෙනවා.
ඒ වගේම, මෙතුමාගේ ජීවිතය සම්බන්ධයෙන් අපට බරපතළ, ගැටලුකාරී සැකයක් මතු වෙනවා. අමුතුවෙන් කිව යුතු නැහැ, තිස් අවුරුදු යුද්ධය අවසන් කර, අදටත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ගේ වෛරයට පාත්‍ර වී සිටින අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාව මෙලෙස දුර්වල කිරීම තුළින් රජය බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න අපට බරපතළ ගැටලුවක්. අපි දන්නවා, එතුමාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වසර දාහතරක් පැරණි සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් නිසා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. ඒ ගැන මම අදහස් දක්වන්නේ නැහැ.
නමුත් මේ රටම දන්නවා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සුවිශේෂී දැනුමක් ඇති තැනැත්තා එතුමාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා බව. ඉතින්, ඔහුත් දැන් මේ ආරක්ෂක කණ්ඩායමේ නැහැ. ඊට අමතරව, පසුගිය කාලයේ සේවය කළ පළපුරුදු සියලුම නිලධාරීන් එතුමා වෙතින් ඉවත් කර තිබෙනවා. ආරක්ෂක රථ ඉවත් කර තිබෙනවා. මෙම තත්ත්වය මත, රජය මේ පිනවන්නට යන්නේ කවුරුන්ද යන්න පිළිබඳව බරපතළ ප්‍රශ්නාර්ථයක් අපට තිබෙනවා.
මක්නිසාද යත්, රට තුළ පාතාලය හිස ඔසවා තිබෙනවා. ඒ වගේම ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නකාරී තත්ත්වයක් රට තුළ තිබෙනවා. මෙවැනි තත්ත්වයක් හමුවේ, ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව තර කිරීම හාස්‍යයට කරුණක්. අපි පසුගිය දිනවල දුටුවා, ආරක්ෂාව එපා යැයි පැවසූ ආණ්ඩුවේ පිරිසම තමන්ගේ ආරක්ෂාව තර කර ගන්නා අයුරු. ඔවුන් මොනවා කරලද?
ඔවුන් මේ රටේ යුද්ධයක් අවසන් කළාද? එසේත් නැත්නම්, ඔවුන්ගේ ජීවිතයට තර්ජනයක් වන කුමන දෙයක් ඔවුන් කර තිබෙනවාද? එසේ නොමැති තත්ත්වයක් තුළ, ආරක්ෂාව එපා යැයි පැවසූ පිරිසක් තමන්ගේ ආරක්ෂාව වැඩි කර ගන්නා අතර, සැබවින්ම ආරක්ෂාව ලබා දිය යුතු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආරක්ෂාව මෙලෙස දැඩි ලෙස දුර්වල කිරීම අපි බරපතළ ලෙස හෙළා දකිනවා.
ඒ වගේම අපි දන්නවා, පසුගිය කාලය පුරා "පොහොට්ටුව අයිස් ජාවාරම් කරනවා" යැයි පැවසූ පිරිස දැන් නිහඬ වී සිටිනවා. ඊට හේතුව කුමක්ද? පසුගිය දිනක විමල් වීරවංශ අමාත්‍යවරයා හෙළි කළා, මාලිමාවට ඉතා බරපතළ සම්බන්ධකම් ඇති පුද්ගලයෙක් තමයි බෝට්ටු මගින් මෙම අයිස් ජාවාරමේ නිරත වී තිබෙන්නේ කියා.
මම සිතන්නේ ඒ නිසා දැන් ඔවුන් අයිස් ජාවාරම ගැන කතා කිරීම නතර කර තිබෙනවා. ඒ නිසා, අර රොකට්ටුව වගේම අයිස් කන්දත් දැන් මාලිමාව මත පතිත වී තිබෙනවා. ඒ නිසා ඔවුන් දැන් නිහඬයි.
මාලිමාව කන්ටේනර් පැන්නුවා සේම, මේ රටේ අහිංසක තරුණ තරුණියන්ගේ ජීවිත විනාශ කරන අයිස් ජාවාරමටත් මාලිමාවට සම්බන්ධ දේශපාලනඥයන් සම්බන්ධ බවට විමල් වීරවංශ අමාත්‍යතුමා පසුගියදා මාධ්‍ය හමුවකදී අනාවරණය කළා. රජයේ පාර්ශ්වයෙන් ඊට සාධනීය පිළිතුරක් අද වන තෙක් ලබා දී නැහැ. ඕනෑම ඝාතනයක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු වීම ගැන, උදාහරණයක් ලෙස සාගරිකා ගෝමස් වැනි අතීතයේ ඝාතනයට ලක් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු වීම ගැන අපට කණගාටුවක් නැහැ, අපි ඒවාට විරුද්ධත් නැහැ.
නමුත්, එම විමර්ශන, තමන්ගේ වේදිකාවට නැඟී මාලිමාව දිනවීමට කටයුතු කළ නිලධාරීන් ලවා, බොරු සාක්ෂි නිර්මාණය කර, ඒ මත දේශපාලන දඩයම් කිරීමට උත්සාහ කිරීම නීතියේ ආධිපත්‍යයට එල්ල වූ බරපතළ තර්ජනයක්. පසුගිය දිනක 'කජ්ජා' නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් රඟ දැක්වීමට උත්සාහ කළ චිත්‍රපටය, ඔහුගේ පුතා නිසාම ඉක්මනින් අවසන් කිරීමට සිදු වුණා.
ඒ නිසා අපි කියන්නේ මියගිය මිනිසුන් ගැන පරීක්ෂණ කරන්න එපා කියා නොවෙයි. එම පරීක්ෂණ තමන්ගේ දේශපාලන හෙන්චයියන් ලවා සිදු කර, ඉන් තමන්ට දඩයම් කිරීමට අවශ්‍ය දේශපාලනඥයන් දඩයම් කිරීමට යොදා ගන්න එපා කියන කාරණයයි