කෝටි 650ක අයිස් – හෙරොයින් තංගල්ලෙන් අල්ලයි

කෝටි 650ක අයිස් – හෙරොයින් තංගල්ලෙන් අල්ලයි

අයිස් සොරාගෙන යෑමට ආ කල්ලියක තිදෙනකුට වස දී මරලා?
ඇෆ්ගනිස්ථානයේ සිට මුහුදෙන් එවලා
ලොරි 3කින් මතුවූ දකුණේ කුඩු!
පැණි කොමඩු ලොරියේ කෝටි 180ක මත්ද්‍රව්‍ය සමග ටී 56ක් හා පිස්තෝල 5ක්
ආයුධ ලැබුණේ කුඩු ගත්තාට බෝනස් එකක් ලෙස


තංගල්ල ප්‍රදේශයේදී ඊයේ (22දා) අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 650 කට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය දකුණේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන උණාකූරුවේ ශාන්තට අයත් ඒවා බවට පොලිසිය සැක පහළ කරයි.


මෙම මත්ද්‍රව්‍ය තොගය ඇෆ්ගනිස්ථානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ දකුණු පළාතේ මුහුදු වෙරළ වෙත ගෙනැවිත් ඒවා මත්ද්‍රව්‍ය ගබඩා වෙත රැගෙන යද්දී මෙසේ අත්අඩංගුවට පත්වූ බව පොලිසිය පවසයි.


මේ අතර තංගල්ල තලාව දකුණ ප්‍රදේශයේ නිවසක තිබී සොයාගත් මළ සිරුරු තුන මෙම මත්ද්‍රව්‍ය රැගෙන යෑමට පැමිණි පුද්ගලයන් කණ්ඩායම් තුනෙන් එක් කණ්ඩායමක සාමාජිකයන්ගේ බවට පොලිසිය සැක පහළ කරයි.

මෙසේ මියගොස් සිටි පුද්ගලයන් තිදෙනාට වස පානය කිරීමට ලබාදී ඔවුන් ඝාතනය කරන්නට ඇති බවට සැකයක් මතුවී ඇති බවද පොලිසිය පවසයි.

මෙසේ මියගොස් සිටි පුද්ගලයන් එම නිවස වෙත පැමිණි බවට සැක කරන ඩිමෝ බට්ටා වර්ගයේ ලොරියේ තිබී අයිස් කිලෝ ග්‍රෑම් 10ක්ද පොලිසිය සොයා ගන්නා ලදී.

පොලිසිය සැක කරන්නේ මොවුන් තිදෙනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 10ක් සොරාගෙන යන්නට ඇති බවටයි. ඔවුන් අයිස් මත්ද්‍රව්‍ය සොරා ගැනීම නිසා මෙම ජාවාරම පිටුපස සිටින සංවිධානාත්මක කල්ලියේ සාමාජිකයන් ඔවුන් තිදෙනාට වස මිශ්‍ර කළ බියර් පානය කිරීමට ලබාදී ඔවුන් ඉතාම සූක්‍ෂම ලෙස මරා දමන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. තංගල්ල තලාව දකුණ ප්‍රදේශයේ නිවසක තිබී මියගිය පුද්ගලයන් දෙදෙනකුගේ සිරුරු ඊයේ උදේ පොලිසිය විසින් සොයාගෙන තිබිණ. එහි සිටි තවත් අයකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කළ පසු මිය ගියේය.

මොවුන් තිදෙනා උණාකූරුවේ ශාන්ත මෙරටට එවූ මත්ද්‍රව්‍ය මුහුදු වෙරළේ සිට රැගෙන යෑමට පැමිණි පුද්ගලයන් බවට පොලිසිය සැක පහළ කරයි.


දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා අදාළ වැටලීමෙන් පසු පොලිස් නිලධාරීන් පිරිසක් සමග.

මෙම පුද්ගලයන්ගේ මළසිරුරු සොයාගැනීමෙන් පසු පොලිසිය විසින් සිදුකළ මෙහෙයුමකදී පැණි කොමඩු පැටවූ ලොරියක් අත්අඩංගුවට ගත් අතර එහි සඟවා තිබී රුපියල් කෝටි 180ක් පමණ වටිනා අයිස් සහ හෙරොයින් කිලෝ 180ක් සොයා ගන්නා ලදී.

එම ලොරියේම සඟවා තිබි ටී 56 අවියක් සහ පිස්තෝල 05ක්ද පොලිසිය සොයාගෙන තිබිණි.

එම අවි ආයුද ද ඇෆ්ගනිස්ථානයෙන් එවන ලද මත්ද්‍රව්‍ය තොගය සමග ගෙන ආ ඒවා බව පොලිසිය පවසයි.

හෙරොයින් විශාල තොගයක් මිලදී ගන්නා විට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් බෝනස් ත්‍යාගයක් ලෙස මේ ආකාරයට නවීන පන්නයේ ගිනිඅවි ත්‍යාග ලෙස ලබාදීම සාමාන්‍ය සිරිතකි. මෙම ආයුධ තොගය ද ට්‍රෝලර් යාත්‍රාවෙන් ගෙන එන්නට ඇති බවට සැක කරයි.

මෙම ලොරිය අත්අඩංගුවට ගැනීමෙන් පැය කීපයකට පසුව ගරාජයක නවතා තිබූ තවත් විශාල ප්‍රමාණයේ ලොරියක් ද පොලිසිය අත්අඩංගුවට ගත් අතර එහි තිබී අයිස් සහ හෙරොයින් කිලෝ 450කට අධික ප්‍රමාණයක් සොයා ගන්නා ලදී. මෙම ලොරි දෙක සමග සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම මහා වැටලීම ක්‍රියාත්මක වීමෙන් පසු එය පරීක්ෂා කිරීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තංගල්ලට ගොස් තිබිණි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැටලීම සහ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබිණි. කිත්සිරි ජයලත් මහතා කාලයක සිට ක්‍රියාත්මක කර තිබූ ආරක්ෂක වැඩ පිළිවෙළ සහ මෙහෙයුම් නිසා මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීම් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.

මෙම මත්ද්‍රව්‍ය තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට නියමිතව තිබිණි. උණාකූරුවේ ශාන්ත ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින අතර මෙරට සිදුවූ මහා පරිමාණ මිනීමැරුම් ගණනාවකට අවශ්‍යව සිටින අයෙකි. ක්ලබ් වසන්ත ඝාතනය ඇතුළු මිනීමැරුම් රැසක් සම්බන්ධව චෝදනා එල්ල වී ඇත. කංජිපානි ඉම්රාන් සමග එක කල්ලියේ මෙම පාතාල සාමාජිකයෝ කටයුතු කරන බව පොලිසිය පවසයි

Search