නව විදුලිබල පනත යැයි කියමින් පරණ පනතම වත්සුණු තවරා නැවත ගෙන එමින් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක හා ඔහුගේ ආණ්ඩුව රුපියල් ටි්‍රලියන ගණනාවක් වටිනා රාජ්‍ය දේපළක් වන ලංකා විදුලි බල මණ්ඩලය විදේශීය සමාගම්වලට විකිණීමට කටයුතු කරමින් සිය “ආත්මය ඝාතනය කර ගනිමින්” සිටින බව නිදහස් විදුලි සේවක සංගමයේ කැඳවුම්කරු සමන්ත ගමගේ මහතා ප්‍රකාශ කළේය.
සමන්ත ගමගේ මෙම අදහස ප්‍රකාශ කළේ පසුගිය (19)දා බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.
මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය.
මේ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගෙන් 98%ක් ඡන්දය ලබා දුන්නා. පැවති පනත පුච්චලා, බලයට ආපු ගමන් ඒ පනත ඉරා දමනවා කියා පොරොන්දු වුණා. නමුත්, අද වන විට ජනාධිපතිතුමා ඒ සියල්ල අමතක කර, තමන්ගේම ආත්මය මරාගෙන තිබෙනවා.
නව 2024 අංක 36 දරන විදුලි පනතේ පළමු පිටුවේම “කොටස් වෙළඳපොළ ලැයිස්තුගත කිරීම” සහ “රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපාර” ලෙස සඳහන් කර ඇති බවත්, එය විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ පැහැදිලි උත්සාහයක් බවත් ඔහු පෙන්වා දුන්නේය. බලයට ඒමට පෙර වැරදි යැයි කියූ පනතක්ම නීතියක් ලෙස සම්මත කර, රාජ්‍ය දේපළ විදේශ ආයෝජකයින්ට පැවරීමෙන් “රටේ බලශක්ති ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාව දැඩි අවදානමකට ලක්වන” බවද ඒ මහතා අවධාරණය කළේය.
ලංකාවේ විදුලි ඉල්ලුම මෙගාවොට් 2700ක් පමණ වන කුඩා පද්ධතියක්. මෙය කළමනාකරණයට අවශ්‍ය ඉංජිනේරුවන්, සාමාන්‍යාධිකාරීවරුන් සහ කාර්යක්ෂම ව්‍යුහයක් අප සතුව තිබෙනවා. තවද, විදුලිබල මණ්ඩලයේ සියලු ගනුදෙනු වවුචර සහ බැංකු හරහා සිදුවන බැවින් එහි කිසිදු මූල්‍ය කාන්දුවීමක් සිදු නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙම සටන සේවක අයිතීන් දිනාගැනීමේ අරගලයක් නොව, “ජාතික සම්පතක් ආරක්ෂා කරගැනීමේ මහජන සටනක්” බව පෙන්වා දුන් සමන්ත ගමගේ මහතා, රජය මෙම පනත ඉවත් කර නොගතහොත්, රට පුරා සිටින ලක්ෂ 72ක් වූ පාරිභෝගිකයින්ගේ නිවෙස්වලට ගොස් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය හෙළිදරව් කරන බවට අනතුරු ඇඟවීය