විපක්ෂයේ නායකයන් නිශ්ශබ්ද කර ඒකාධිපතිවාදයක් හදන්න යනවා නම් විපක්ෂයේ අපි එකට හිඳ ඊට මුහුණ දෙමු යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එමෙන්ම සියලු පක්ෂ එකතු වී රට වටා රැස්වීම් දහසක් පැවැත්විය යුතු බවද හෙතෙම කියා සිටියේය.
හොරු කියමින් ඔක්කොම අත්අඩංගුවට ගන්න යනවා. මේ රටේ ජාතික විගණන නීතිය, දූෂණ විරෝධී පනත සම්මත කළේ අපි. අපි හොරු නම් එහෙම කරනවාදැයි පෙරේදා (20දා) මොනාක් ඉම්පීරියල්හිදී පැවැති එක්සත් ජාතික පක්ෂ 79 වැනි සංවත්සරයට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්න කළේය.
“ඔබේ මතය ඔබ දරන්න ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවන්න එකට සිටගමු” යන තේමාව යටතේ මෙම සංවත්සර උත්සවය පැවැත්විණි.
“අවුරුදු 78 ක් කළේ මොකක්ද කියලා අහනවා. අපි අධ්‍යාපනය, සෞඛ්‍ය දියුණු කළ හැටි අමුතුවෙන් කියන්න ඕනෑ නෑ. අද විදුලිබලය නැත්තේ කොහේද? අද වරිච්චි බිත්ති තියෙන ගෙයක් තිබෙනවාද?” යැයි ද එජාප නායක හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විමසා සිටියේය