වියත්පුරේ ගෙවල් අඩු මුදලට දුන්නේ නෑ- හිටපු මන්ත්‍රී දොලවත්ත

වියත්පුරේ ගෙවල් අඩු මුදලට දුන්නේ නෑ- හිටපු මන්ත්‍රී දොලවත්ත

වියත්පුර නිවාස සංකීර්ණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙත නිවාස ලබා දීමේදී එම නිවාස මුදල් නොගෙවා හෝ ඉතා අඩු මුදලකට මන්ත්‍රිවරුන් වෙත ලබා දීම තුළින් රජයට පාඩුවක් සිදුව ඇතැයි පවසමින් ආණ්ඩුව ව්‍යාජ මතයක් සමාජගත කිරීමට උත්සහ දරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත සඳහන් කරයි.


මෙම නිවාස ලබා දීමේදී රජය මුලින් ගිවිසුම්ගත වූ එකඟතාවන් මේ වනවිට උල්ලංඝණය කර ඇති බව පෙන්වා දෙන නීතිඥ දොලවත්ත මෙම නිවාස සංකීර්ණයේ එක් නිවසක් රු. ලක්ෂ 110ක මුදලකට විකිණීම සඳහා තීරණය කර තිබූ අතර මෙම නිවාස ඒකකයක් තමන් වෙත ලබා දීමේදී එම නිවෙසේ බදු සහිත වටිනාකම රු. ලක්ෂ 202ක් වන බවත් එය ගෙවීමේ පදනම මත ලබා දී ඇති බව පෙන්වා දුන්නේ ය.

ඒ අනුව, වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසු 2024 දෙසැම්බර් මාසයේ 31 වන දිනට පෙර මූලික ගෙවීම සිදු කරන මෙන් සිදු කළ දැනුම් දීමක් අනුව වටිනාකමෙන් 25%ක් එනම් රුපියල් ලක්ෂ 50 ගණනක මුදලක් මූලික ගෙවීම වශයෙන් මන්ත්‍රිවරුන් විසින් ගෙවීම් කර ඇති අතර මේ වන විට මාසිකව රු. එක් ලක්ෂ හතළිස් දෙදාහ බැගින් ගෙවීම් කරති.

මෙම නිවාස ලබා දීමේදී මන්ත්‍රිවරුන්ට කිසිදු විශේෂ සහනයක් ලබා දී නොමැති බවත්, යම් කිසි භාණ්ඩයක් ගෙවීමේ පදනමට කොටස් වශයෙන් වාරික ලෙස ගෙවීමට ලබා දී ඇති පරිදි 10%ක පොළියක් සහිතව මාසික වාරික වශයෙන් ගිවිසුමක් අනුව ගෙවාගෙන යෑමට මෙම නිවාස ලබා දී ඇති බවත්, එලෙස මන්ත්‍රිවරුන් කොටස් වශයෙන් මුදල් ගෙවාගෙන යෑම සම්බන්ධව ආණ්ඩුව අකැමැති නම් මුල් අවස්ථාවේදී ගිවිසුමේ පරිදි 25%ක මුදල භාර නොගෙන බැංකු ණයක් මගින් එම නිවාස ලබා ගැනීමට අවස්ථාව ලබා දීමට තිබූ බව ඔහු පෙන්වා දුන්නේ ය.

ඒ ආකාරයට ගෙවීමේ ක්‍රමයට ලබා ගෙන ඇති මෙම නිවාස ගෙවා අවසන් වීමේදී රජයට රු. ලක්ෂ 307ක මුදලක් ඔවුන් විසින් ගෙවීමට නියමිත ය.

මෙම රජය විසින් ලබා දුන් ගිවිසුම අනුව මූලික ගෙවීම ලෙස 25%ක මුදලක් ගෙවා ඉතිරි වාරික නියමිත දිනට ගෙවමින් පවතින පසුබිමක රජය පවසන පරිදි මේ තුළින් රජයට යම් පාඩුවක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධව මෙතෙක් කිසිදු දැනුම් දීමක් රජය විසින් සිදු කර නොමැති බව හිටපු මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු තවදුරටත් පැවසුවේ, මෙම ආණ්ඩුව විසින් අදාළ ගිවිසුම උල්ලංඝණය කළා හෝ කිසියම් පාඩුවක් සිදු කළා යැයි කියා කිසිදු ආකාරයේ ලේඛනයක් නිවාස මිල දී ගත් පිරිස් වෙත යොමු නොකර මෙම නිවාස ලබා ගැනීම තුළින් මෙම මන්ත්‍රිවරුන් රජයට පාඩු සිදු කළ බවට වත්මන් රජය විසින් සාවද්‍ය ප්‍රකාශ ජනතාව අතරට යැවීම තුළින් එම මන්ත්‍රිවරුන් කෙරෙහි ජනතා අප්‍රසාදයක් ගොඩනැඟීමට උත්සාහ කරන බව ය.

ආණ්ඩුව ඉහත ගිවිසුම උල්ලංඝණය කිරීමට කටයුතු කරන්නේ නම් ඒ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද හිටපු මන්ත්‍රීවරයා පැවසීය

Search