වැඩ පටන් ගන්න ඉරානයෙන් ගෙන්වූ විශේෂඥයෝ දෙදෙනා ආපසු ගිහින්
කෙහෙල්බද්දර පද්මේ, පානදුරේ කුඩු නිලංග, බැකෝ සමන් ඇතුළු පාතාල කල්ලිය ඉරාන ජාතිකයන් සමග එක්වී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදාගත් තවත් නිෂ්පාදනාගාරයක් හම්බන්තොටින් වැටලූ පොලිසිය, අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගත් බව කියන රසායන ද්‍රව්‍ය, උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගෙන ඇත.
බැකෝ සමන් නමැති පාතාල මැරයාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත ඇඹිලිපිටියේ සුරංග කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබිණි. එම සැකකරු හෙළිකළ තොරතුරු මත හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුගේ තොරතුරු මත හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පවත්වාගෙන ගිය මෙම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්තශාලාව වැටලීමට පොලිසිය සමත් විය.
මෙම නිවාඩු නිකේතනයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට සැකකරන රසායන ද්‍රව්‍ය අඩංගු ලීටර් 52 කෑන් 14 ක් සහ මත්ද්‍රව්‍ය නිෂ්පාදයට යොදාගන්නා උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම නිවාඩු නිකේතනයේ තිබී මෝටර් රථයක් ද පොලිස් භාරයට ගත් අතර එය දැනට විදේශගතව සිටින පාතාල නායකයකුගේ නමට ලියාපදිංචි කළ එකකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින කුඩු නිලංග නමැත්තා විසින් මෙම රථය අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා මෙම නිවාඩු නිකේතනය වෙත ලබාදී තිබූ බව ද හෙළි වී තිබේ.
විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇති අන්දමට මෙම අයිස් නිෂ්පාදන කර්මාන්තශාලාව ස්ථාපිත කිරීම සඳහා මත්ද්‍රව්‍ය නිෂ්පාදනයේ විශේෂඥයන් ලෙස කටයුතු කරන ඉරාන ජාතිකයන් දෙදෙනකු ද එහි පැමිණ සිට ඇත.
එම ඉරාන ජාතිකයන් දෙදෙනා මීට ටික කලකට පෙර විදේශගතව ඇති බව ද අනාවරණය වී තිබේ.
මෙම නිවාඩු නිකේතනය තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර බෙදාහැර ඇති බවට ලැබුණු තොරතුරු මත ඒ ඔස්සේ පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.
එමෙන්ම මෙම මහා පරිමාණ ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයන් කිහිපදෙනකු පිළිබඳ ලැබුණු තොරතුරු මත ඔවුන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශන ක්‍රියාත්මක කර ඇත.