මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමකින් සොයාගත් රසායනික ද්‍රව්‍ය සාම්පල 20කින් 17ක්ම අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්න රසායනික ද්‍රව්‍ය බවට ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය විසින් සිදු කළ පරීක්ෂාවකින් අනතුරුව තහවුරු වී ඇතැයි පොලීසිය පවසනවා. ඒ පිළිබඳ වාර්තාවද මේ වන විට පොලීසිය වෙත භාර දී තිබේ.
මිද්දෙණිය ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබියදී අදාළ රසායනික ද්‍රව්‍ය තොගය සොයාගැනුණේ ඉකුත් 5 වනදා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් සිදු කළ මෙහෙයුමකදීයි. එහිදී රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන තිබුණා.
මෙම රසායනික ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වූයේ, කෙහෙල්බද්දර පද්මේ සමග ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ බැකෝ සමන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව බව පොලීසිය සඳහන් කරයි.
මිද්දෙණියේ රසායනික ද්‍රව්‍ය සොයා ගැනීමෙන් පසුව තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමකින්ද අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා තවත් රසායනික ද්‍රව්‍ය තොගයක් සොයාගැනුණු අතර,
පසුව කඳාන ප්‍රදේශයෙන්ද ඊට සමාන රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලීසියට හැකි විය.
මේ අතර, ටී 81 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගේ ගෝලයෙකු වන හෙට්ටි ලියනගේ ලක්ෂාන් නොහොත් අමිල ඇඹිලිපිටිය නැමැත්තා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ගිණි අවි ප්‍රවාහනය සහ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදීයි. ඔහු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දුන්නේය. මෙම සැකකරු බැකෝ සමන්ගේ සමීපතමයා බවට අනාවරණය වී ඇති අතර, ඔහු ඇඹිලිපිටිය, ගඟේයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු සන්තකයේ තිබී ටී 81 වර්ගයේ ගිනිඅවියක්, උණ්ඩ 97ක්, මැගසින් 02ක් සහ හමුදා නිල ඇඳුමක් ද සොයා ගැනීමට පොලීසිය සමත් විය