ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක දැනුම් දෙයි: ජනපති හිමිකම් ඉවත් කිරීමේ පනත ව්‍යවස්ථාවට අනුකූලයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක දැනුම් දෙයි: ජනපති හිමිකම් ඉවත් කිරීමේ පනත ව්‍යවස්ථාවට අනුකූලයි

ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) නමැති පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ (09දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ඒ අනුව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කළ හැකි බව ද කථානායකවරයා දන්වා සිටියේය.

කථානායකවරයා මේ බව දැනුම් දුන්නේ එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ප්‍රකාශයට පත් කරමිනි. මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බව ද ඒ මහතා කියා සිටියේය.

තවද මෙම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු කළ පෙත්සම්කරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තියේ සඳහන් අනිවාර්ය විධිවිධානවලට අනුකූලව අධිකරණ බලය අයැදීමට අපොහොසත් වී ඇති බැවින් එම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ද කථානායකවරයා වැඩිදුරටත් නිවේදනය කළේය.

මේ අතර ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (10දා) විවාදයට ගෙන සම්මත කිරීමට හදිසියේම තීරණය වී ඇත.

ඒ අනුව එම පනත් කෙටුම්පත අද පෙරවරු 11.30 සිට පස්වරු 3.30 දක්වා විවාදයට ගැනීමට ඊයේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ විශේෂ කාරක සභා රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

එම විවාදය අද හෝ මෙම සතියේ විවාදයට ගැනීමට නියමිත නොවූ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කථානායකවරයා විසින් ඊයේ ප්‍රකාශයට පත් කළ බැවින් මෙය හදිසියේම අද විවාදයට ගැනීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇත.

ඒ සඳහා පක්ෂ නායකයන්ගේ අනුමැතිය ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමක් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දහවල් 12ට පැවැත්විණි. එහිදී එම තීරණයට පැමිණ තිබේ.

ඒ අනුව අදට නියමිතව තිබූ සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්පත පසු දිනක විවාදයට ගැනීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂය මෙහිදී පවසා ඇත.

Search