පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් මේ වනවිට සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වූ මහින්දානන්ද අලුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් 10 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද(04) දින නියම කර තිබේ.
කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න හමුවේ මෙම නඩුව අද කැඳවනු ලැබූ අතර එම අවස්ථාවේදී සිර දඬුවම් නියම වී බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍යවරුන් වූ මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මෙම නඩුවේ තුන්වන විත්තිකරු වශයෙන් නම්කර සිටින ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි විවෘත අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ කරුණු දක්වමින් විත්තිකරු අසනීපයෙන් පසුවන බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලදි.
විත්තිකාර නලින් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජේ රාජරත්නම් මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් මෙම නඩු කටයුත්ත මාධ්‍ය හරහා ප්‍රචාරය වනවිට විත්තිකරුගේ පවුලේ අය සහ හිතවතුන් අපහසුතාවට සහ පීඩාවට පත්වීමට හැකියාව තිබෙන නිසා නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ වූ පසු පමණක් විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව නඩු විභාගය පැවැත්වෙන අතරතුරදී ව්‍යතිරේක අවස්ථාවකද හැර අන් සෑම අවස්ථාවකදීම විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත්, එමෙන්ම නිසි පරිදි නඩුව පවත්වාගෙන යාමට විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටිය යුතු බවත් අවධාරණය කළ විනිසුරුවරයා, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර සෑම නඩු දිනයකදීම විත්තිකරු අධිකරණට ඉදිරිපත් කරන ලෙස නියෝග කරනු ලැබීය
මෙම නඩුවේ විත්තිය විසින් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන මූලික විරෝධතා වලට අදාල වාචික දේශන ඔක්තෝබර් මස 10 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා විසින් විත්තියේ නීතිඥවරයාට නියම කරනු ලැබීය.
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් ආනයනය කිරීම තුලින් රුපියල් මිලියන 39ක අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පොදු දේපල පනත යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ