ශ්‍රී ලංකාව මේ ආකාරයෙන් ගමන් කළහොත් 2022දී මෙන් 2028 දී ණය ගෙවාගත නොහැකිව බංකොලොත් භාවයට පත්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා මේ පිළිබඳව පවසා සිටියේ පසුගිය (31) දින අම්පාර දිස්ත්‍රික්කයේ සමගි ජනබල වේගයේ පළාත් පාලන සංසදය අමතමිනි.
අද අපේ රටේ ඇත්තේ ඛේදනීය සහ කණගාටුදායක තත්ත්වයක් බවත්, රටේ ජනතාවට අසීමිත බලාපොරොත්තු ලබා දී ජනතාව මං මුලා කර රවටා මුසාව ජයග්‍රහණය කර රටේ ජනතාව ලක්ෂ 220ක් අතරමං කර ඇති බවත්, පිළිකා රෝහලේ පහසුකම් පවා මෙන්ම ඖෂධ හිඟයට විසඳුම් පවා ලබාදීමට නොහැකි වී ඇති බවත් දහස් ගණනින් වෛද්‍යවරු රට අතහැර යද්දී බුද්ධි ගලනයට විසඳුම් නොමැති බවත්, එවැනි දර්ශනයක් ක්‍රියාත්මක කරන්න අවබෝධයක් නොමැති අදක්ෂ නොහැකියාවෙන් පෙළෙන රජයක් රට පාලනය කරන බවත් විපක්ෂ නායක වරයා එහිදී පවසා සිටියේය.
බඩු මිල වැඩි වී ආදායම් අඩු වී, කර්මාන්තශාලා වැසී රට අතහැර යන තත්ත්වයක් මත රටේ දළ දේශීය නිෂ්පාදනය 51%ක දායකත්වයක් ලබා දෙන ලක්ෂ 40කගේ ජීවනෝපාය වී ඇති ක්ෂුද්‍ර හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන්ගේ දේපළ පරාටයේ නීතිය යටතේ වෙන්දේසි කරන බවත්, සහලින් ස්වයං පෝෂිත වූ රටක අද වන විට වී වලට සාධාරණ මිලක් පවා නොමැතිව සහල් ආනයනය කරන තැනට රට වැටී ඇති බවත්, එයට හේතුව පාරිභෝගිකයා ආරක්ෂා කරනවා යැයි කියා කියූ රජය ජාවාරම් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක වරයා පැවසීය.
අද ගොවියාගේ සිට කෘෂි කාර්මාන්තයේ නියැලෙන සියලුම ජනතාව අනාථ වී ඇති බවත්, ගොවියා රජ කරනවනවා කියා බලයට පැමිණි මේ ආණ්ඩුව අද ගොවියා අසරණ කර ඇති බවත්, මේ අය කියූ දේවල්, දුන් පොරොන්දු, ක්‍රියාත්මක කළ යුතු බවත්, මොවුන් 159ක බහුතරයක් ජනාධිපතිකමක් සහ පළාත් පාලන ආයතන බහුතරයක් තියාගෙන රට වෙනුවෙන් කිසි දෙයක් නොකරන බවත්, මේ යන විදිහට ගියොත් 2022දී මෙන් 2028 දීත් ණය ගෙවාගත නොහැකිව රට බංකොලොත් වන බවත් විපක්ෂ නායකවරයා මෙහි පෙන්වා දුන්නේය.
2028 සිට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 5.5ක් විදේශ ණය ගෙවන්න නම් 2025 සිට 5% ක ආර්ථික වර්ධන වේගයක් නඩත්තු කළ යුතු බවත් සංඛ්‍යා ලේඛන අනුව නම් මේ වන විට එම ඉලක්කයට යා නොහැකි බවත්, තවත් වරක් රට බංකොලොත් වෙන එක කියා තමා ප්‍රාර්ථනා නොකරන බවත්, මිනිස්සුන්ගේ පීඩනය, අසහනය, උපයෝගී කරනගෙන දේශපාලනය ජයග්‍රහණය ලබාගැනීමට තමා සූදානම් නොමැති බවත් IMF ගිවිසුම් තුළ සාකච්ඡා කර සංශෝධනය කරගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියත්, රජය එය නොකළ බවත්, රටේ ජනතාව මේවා දැනගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු අම්පාර ආසන සංවිධායකවරු සහ පළාත් පාලන නියෝජිතයෝ මෙයට සහභාගී වූහ.