ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුවක් විභාගයට ගත් අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පිවිසෙන මාර්ග අවහිර වන ලෙස ජනතාව රැස් කළ පුද්ගලයන් කවුරුන්දැයි හඳුනාගෙන, ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අගෝස්තු 26 වන දින නියෝගයක් නිකුත් කළාය.
මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ දිලීප පීරිස් මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.
අධිකරණ කටයුතුවලට බාධා වන පරිදි මාර්ග අවහිර කරමින් ජනතාව රැස් කරවීම පිටුපස සංවිධානාත්මක පිරිසක් සිටින බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දුන්නේය.
පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ, එංගලන්තයේ විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා සහභාගී වූ දින එකහමාරක පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් රුපියල් කෝටි එකහමාරකට අධික රජයේ මුදලක් වැය කිරීම තුළින් රජයට පාඩු සිදුකළ බවට වන චෝදනාවකට අදාළවය.
අදාළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය, මාර්ග අවහිර කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නියෝග කිරීමට අමතරව, අධිකරණයට අපහාස කිරීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ද එම සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් දැනුම් දුන්නාය