හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලැබීම ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිය සහ මූලික අයිතිය තහවුරු වීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ සිට ඊයේ (26දා) පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කී විපක්ෂනායක වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
“මෙය ඓතිහාසික දවසක්. අපේ රටේ ස්වාධීන අධිකරණය යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නීතියේ ආධිපත්‍ය, ස්වාධීනව සහ සර්ව සාධාරණ ලෙස ක්‍රියාත්මක කළ අවස්ථාවක්. අධිකරණය හැමවිටම එම ප්‍රතිපත්තියේ සිටිනවා කියන විශ්වාසය අපට තිබෙනවා. අධිකරණ ක්‍රියාවලියට කුමන බලපෑම් ආවත් මේ තීන්දු ගැන විවිධ අනාවැකි පළ කළත් ස්වාධීන අධිකරණය හමුවේ යුක්තිය සාධාරණත්වය ඉටුවූ බව අප මේ අවස්ථාවේ කිව යුතුයි.
හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ මහත්මීන් සහ ඔහුගේ නිදහස වෙනුවෙන් ඒකරාශී වූ සජබ ඇතුළු විපක්ෂයේ විවිධ දේශපාලන පක්ෂවලට අපගේ ප්‍රණාමය පුද කර සිටිනවා. අපි ජනතාවට කියන්නේ තර්ජනයට බිය වෙන්න එපා, ආපස්සට යන්න එපා. ස්වාධීන අධිකරණය තුළ ඔබගේ නිදහස තහවුරු වෙනවා. ඔබගේ මානව අයිතිය මේ නීතිය තුළ තහවුරු වෙනවා. කිසිම බලපෑමකට යටත් නොවී රටේ නීතිය තුළ තම ප්‍රතිපත්ති, දේශපාලන, විවිධ ආගම්, සබැඳියාවන් ක්‍රියාත්මක කිරීමට අයිතිය තිබෙනවා. ඔබගේ අයිතිය ආපස්සට හරවන්න බෑ. අද ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිය සහ මූලික අයිතිය තහවුරු වූ දවසක්