අද කොළඹ විරෝධතාවට කැරලි මර්දන කණ්ඩායම් සීරුවෙන්

අද කොළඹ විරෝධතාවට කැරලි මර්දන කණ්ඩායම් සීරුවෙන්

‘ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවමු’ මැයෙන් කොළඹ ගාලුමුවදොර හා කොටුව ආශ්‍රිත ප්‍රදේශයේ අද (අගෝ. 26) පැවැත්වෙන විරෝධතාවට පක්ෂ භේදයකින් තොරව දහස් ගණනක් සහභාගි වීමට නියමිත බව විපක්ෂයේ දේශපාලන පක්ෂ සඳහන් කරයි.

ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වූ පසු මහා සංඝරත්නය, වෙනත් ආගමික නායකයන්, වෘත්තිකයන්, රාජ්‍ය සේවකයන්, ගොවියන්, කම්කරුවන්, තරුණයන් ඇතුළුව විපක්ෂය එක්ව පවත්වන දැවැන්ත ම විරෝධතාව මෙය බව ද එම පක්ෂ කියා සිටී.

එසේ ම, පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, හිටපු මැති ඇමතිවරුන් ඇතුළුව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින් ම දේශපාලන ක්‍රියාකාරීන් මෙම උද්ඝෝෂණයට එක්වන බව ද විපක්ෂයේ දේශපාලන පක්ෂ පවසයි.

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්ව ජන බලය, පොදුජන එක්සත් පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 20කට වැඩි ප්‍රමාණයක සහාය ඊට ලැබී ඇතැයි ද එම පක්ෂ ප්‍රකාශ කරයි.

ආරක්ෂක විද්‍යාලය අසලින් ඇතුළුව කොටුව දෙසට එන සියලු මාර්ගවලින් විරෝධතා පාගමන් සංවිධානය කර ඇතැයිද විපක්ෂයේ දේශපාලන පක්ෂ සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ, රටේ සාධාරණත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නැඟී සිටින ජනතාව අද කොළඹට පැමිණෙන බව ය.

මෙය අධිකරණ ක්‍රියාවලියට එරෙහි උද්ඝෝෂණයක් නොව සිතීමට, අදහස් පළ කිරීමට හා සංවිධානය වීමට ජනතාවට ඇති අයිතිය යොදා ගැනීමක් බවත් ඉතිහාසය පුරා ජනතාව අසාධාරණයට හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට එරෙහිව මෙලෙස නැඟී සිට තිබෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ඇතැම් පුද්ගලයන් අධිකරණයට අපහාස කරමින් සිදුකරන අනාවැකිවලට ජනතාවගේ විරෝධය පළ වී තිබෙන බවත්, විපක්ෂය කිසිදු අවස්ථාවක අධිකරණ ක්‍රියාවලියට බාධා නොකරන බවත් හෙතෙම සඳහන් කළේය.

ජාති, ආගම්, කුල, මල, පක්ෂ, පාට භේදයකින් තොරව අසාධාරණයට එරෙහිව පෙළ ගැසීමට ජනතාවට නිදහස තිබෙන බවත් එම නිදහස අහිමි වන විට නිරායාසයෙන් ජනතාව නැඟී සිටින බවත් ඔහු කීවේය.

මේ අතර ‘ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවමු’ තේමාව යටතේ නිර්මාණය වී ඇති දේශපාලන ව්‍යාපාරයට විපක්ෂයේ දේශපාලන පක්ෂ 20ක සහාය ලැබී තිබේ.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ, සර්වජන බලය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය මෙම දේශපාලන ව්‍යාපාරයට එක්ව ඇත.

එසේ ම, ශ්‍රී ලංකා ජනරජ පෙරමුණ, එක්සත් ජනතා පක්ෂය, ඊ.පී.ඩී.පී. සංවිධානය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඊට සහාය පළ කර තිබේ.

මීට අමතරව, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ලංකා කම්කරු කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, කම්කරු ජාතික පෙරමුණ, ජනනායක තමිල් තේසිය කුට්ටනි, ජාතික කොංග්‍රසය මෙම දේශපාලන ව්‍යාපාරයට එක්ව ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, මහාචාර්ය ජී.එල්. පීරිස්, නීතිඥ දයාසිරි ජයසේකර හා වෛද්‍ය කාවින්ද ජයවර්ධන ද එම ව්‍යාපාරය සමග එක්ව සිටී.

මෙම සූදානම සමඟ‌ කොළඹ නගරයේ සහ ආසන්න ප්‍රදේශවල නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අදාළ පියවර ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බවත් අවශ්‍ය වුවහොත් කැඳවීමට කැරලි මර්දන බටපිරිස් සීරුවෙන් තබා ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය

Search