1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අවලංගු කිරීම අරමුණු කරගනිමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජිත ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාලක ලේකම් රේණුක දුෂ්‍යන්ත පෙරේරා පෙත්සමක් ගොනු කළේ ය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම්කර තිබිණි.
හිටපු ජනාධිපතිවරුන් සඳහා නීතිය මගින් හිමිවී ඇති හිමිකම් අවලංගු කිරීම සඳහා රජය විසින් මෙම පනත් කෙටුම්පත ඉකුත් හත්වන දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති බවත් යෝජිත එම පනත් කෙටුම්පතේ එකේ සිට හතර දක්වා වන වගන්ති මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර තිබෙන බලය බෙදීමේ සිද්ධාන්තය උල්ලංඝණය වන බවත් එම අන්තර්ගත වගන්ති එකකින් හෝ කිහිපයකින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන ස්වෛරීභාවය හා ජනතා පරමාධිපත්‍ය උල්ලංඝණය කිරීම සිදුවන බව එම පෙත්සමෙන් සඳහන් කර තිබිණි.
එම යෝජිත පනත් කෙටුම්පතේ වගන්තිවලින් සමස්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික හරයන් උල්ලංඝණය වීමක් සිදුවන බවත් ඒ හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන 1, 3, 4 සහ 12(1) ව්‍යවස්ථාවන්හි සඳහන් මූලික මිනිස් අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝණය වන බවත් මෙම පෙත්සම මගින් වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
ඒ අනුව, අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් අනුමත වී එය ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස එම පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලා තිබිණි.
නීතිඥ එන්.එස්. වෙල්ගමගේ උපදෙස් පරිදි නීතිද අෂොක් කුමාර ගුරුබරන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
හිටපු ජනපතිවරුන්ගේ හිමිකම කැපීම ගැන දුක කියන්න පොහොට්ටුවේ ලේකම් උසාවියයි...
