විල්පත්තු ජාතික වන උද්‍යානය මායිමේ අරුවක්කාලුව අධි සංවේදී පරිසර පද්ධතිය තුළ නිසි අවසරයකින් තොරව ඉල්මනයිට් සේදීමේ කටයුතු පවත්වාගෙන ගිය ස්ථානයක් වටලා රුපියල් කෝටි 200කට අධික යන්ත්‍ර සූත්‍ර ඇතුළු තවත් දෑ අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සමත් විය.
පුත්තලම කොට්ඨාසයේ වනාතවිල්ලුව පොලිස් වසමේ අරුවක්කාලු ප්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට හඳුනාගෙන ඇති රජයට අයත් විශාල භූමියක් තුළ භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිසි අවසරයක් නොමැතිව ඉල්මනයිට් ඇතුළු වටිනා ඛනිජ ද්‍රව්‍ය කැණීම, සැකසීම හා ගබඩා කිරීම සිදු කර ඇත්තේ මෙම භූමිය තුළ බව එම ඒකකය කීය.
මෙම ඉඩම රජයට අයත් ඉඩමක් වන අතර කලකට ඉහතදී හුනුගල් ආශ්‍රිතයෙන් සිමෙන්ති නිෂ්පාදනය සඳහා බදු පදනම මත විදේශීය සමාගමකට බදු දුන් ඉඩමකි.
මේ කටයුතු අතරතුර ඉලුකා ලංකා රිසෝසස් පෞද්ගලික සමාගම ඕස්ට්‍රේලියා-ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගමක් වශයෙන් 2013 වර්ෂයේ ඉල්මනයිට් පිළිබඳ ගවේෂණය කිරීමට මෙම භූමිය තුළ කටයුතු කර ඇතැයි එම ඒකකය කියයි.
2019 පාස්කු ප්‍රහාරය සහ ඊට පසුව ඇති වූ කොවිඩ් වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියානු සමාගම මෙම කටයුතුවලින් ඉවත් වීමත් සමග ම පුත්තලම ඉල්මනයිට් නමින් වූ ශ්‍රී ලංකා සමාගම භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් ගවේෂණ බලපත්‍රයක් ලබාගෙන මෙම භූමිය තුළ ඉල්මනයිට් ඇතුළු බනිජ නිධි සම්බන්ධයෙන් ගවේෂණයක්ද සිදුකර ඇති අතර එහිදී සමාගම විසින් ආරුවක්කාරු භූමියේ ඉල්මනයිට් ඇතුළු වටිනා ඛනිජ ද්‍රව්‍ය සහිත ඛනිජ නිධි අඩංගු බවට තහවුරු කර ගැනීමෙන් පසු කැණීම් කටයුතු සඳහා අවසර ලබාගැනීමට ඉල්ලීම් කර ඇතත් ඒ සඳහා එකඟතාවක් නොමැති වීම හේතුවෙන් එම කටයුතු අතරමඟ ඇනහිට ඇත.
ඒ අතරතුර තවත් පෞද්ගලික සමාගමක රජයේ සමාගමක් සමඟ ආන්දෝලනාත්මක ගිවිසුමක් ඇති කරගෙන මෙම භුමියේ ඉල්මනයිට් සැකසීමට අවසර ලබාගැනීමට කටයුතු කළද භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය මගින් ඒ සඳහා අවසර ලබාදීමක් හෝ බලපත්‍රයක් ලබාදීමද සිදුකර නැත.
එවැනි පසුබිමක් කළ එම සමාගම පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ප්‍රාග් ඓතිහාසික වටිනාකමක් සහිත අතිශය සංවේදී මෙම කලාපය තුළ ඉල්මනයිට් ඇතුළු වටිනා ඛනිජ ද්‍රව්‍ය සැකසීම සඳහා මහා පරිමාණ ජලාශ 2ක් ඉදිකරමින් වතුර පිරවීමට කටයුතු කර ඇත. ඊට අමතරව විල්පත්තු අභය භූමියට යාබදව පිහිටි මෙම භූමිය තුළ පරිසර විනාශයක්ද සිදුකරමින් තවත් ජලාශ 3ක් මේ වන විට සකස් කරමින් පවතින බව එම ඒකකයේ ප්‍රධානියෙක් ‘මව්බිම’ට පැවසීය.
වලාන ඒකකය විසින් වැටලීම කරන ලද මෙම භූමිය පුරාවටම ඉල්මනයිට් ඇතුළු ඛනිජ ද්‍රව්‍ය තට්ටුවක් පිහිටා ඇති අතර ඒ ඛනිජ යටින් පිහිටි පස් ස්තරයට යටින් හුණුගල් තට්ටුවකින් යුක්ත භූමි ප්‍රදේශයක් වන අතර එය තැනිතලා සහ මඳ බෑවුම් සහිත වේ.
මීට අමතරව විල්පත්තු අභය භූමියේ සැරිසරන සතුන්ද මෙම භූමියේ නිරන්තරයෙන් සැරිසරන බව වලාන ඒකකය කියයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ගාමිණී රණසිංහගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව විසින් 2018 වර්ෂයේ සිදුකරන ලද සමීක්ෂණයකදී මෙම භූමියේ තිබී ප්‍රාග් ඓතිහාසික යුගයේ මානවයා භාවිත කළ ගල් ආයුධ හා මෙවලම් ඇති අතර ඒ හේතුවෙන් මෙය පුරාවිද්‍යා උරුමය පිළිබඳ ලේඛනයට පවා ඇතුළත් කර ඇති භූමියක් ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක ඉකුත් රජය සමයේ මෙම භූමිය ඉල්මනයිට් ඇතුළු වටිනා ඛනිජ ද්‍රව්‍ය සේදීම සඳහා ජලාශයක් ඉදිකිරීමට ඉඩදීම තුළින් බරපතළ පුරාවිද්‍යා අක්‍රමිකතාවක් සිදුව ඇති බවට අනාවරණය වෙමින් පවතී.
වලාන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ සිද්ධිය වූ ස්ථානයට කණ්ඩායමක් සමග ගොස් මෙම ස්ථානය වටලා තිබේ.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ ඍජු අධීක්ෂණය මත වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි කේ.ඒ. උදය කුමාරගේ නියෝග මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ජනිත කුමාර, උප පරීක්ෂක විමල් සැරයන් ජයමහ (40124), කොස්තාපල් බාලසූරිය (77090), එරන්ද (84846), උදයකුමාර (848), රශ්මික (91205), ජයසේකර (93681), දිල්ශාන් (104327), සේනාරත්න (104643), කුමාර (104678), රියැදුරු වසන්ත (80473) හා තිසර (80501) යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වති.
අවසරයක් නැතුව කරගෙන ගිය අරුවක්කාලුවේ මහා පරිමාණ ඉල්මනයිට් නිධිය වටලයි!! කෝටි 200කට වැඩි යන්ත්‍ර සූත්‍ර අත්අඩංගුවට
