වනජීවී නිලධාරීන් 8000ක් ඕනෑ රටේ ඉන්නේ 800යි’වනජීවී දෙපාර්තමේන්තුවෙන් අනාවරණයක්

වනජීවී නිලධාරීන් 8000ක් ඕනෑ රටේ ඉන්නේ 800යි’වනජීවී දෙපාර්තමේන්තුවෙන් අනාවරණයක්

රටේ වනජීවී සම්පත රැකගැනීම සඳහා වනජීවී නිලධාරීන් 8000කගේ පමණ අවශ්‍යතාවක් තිබුණද මේ වන විට සිටින්නේ වනජීවී නිලධාරීන් 800ක පමණ සංඛ්‍යාවක් බැවින් රට තුළ දැවැන්ත පාරිසරික ගැටලු මතු වී ඇති බවත් අලි- මිනිස් ගැටුම්, කැලෑ ගිනි තැබීම්, වනසතුන් ගම්මානවලට කඩාවැදීම්, අලි-ඇතුන් මරා දැමීම් ඊට ප්‍රධාන හේතූන් බවත් වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එමෙන් ම එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ, අභයභූමි සහ ජාතික රක්ෂිත ආරක්ෂා කිරීම සඳහා ස්ථාපිත කර තිබූ අති බහුතරයක් මේ වන විට නිලධාරීන් හිඟකම නිසා වැසී ගොස් ඇති බව ය.

එමෙන් ම, දැනට ස්ථාපිත සමහරක් කාර්යාලවල ඇත්තේ වනජීවී නිලධාරියකු හෝ දෙන්නකු පමණක් බවත් සමහර ස්ථාන කම්කරුවෙකු හෝ ක්ෂේත්‍ර සහායකයෙකු යටතේ පාලනය වන බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

වනජීවී නිලධාරීන්ගේ හිඟය නිසා වන සංරක්ෂණය ඇනහිට ඇති බවත් මේ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන් ම ජනාධිපතිවරයාද දැනුවත් කර ඇති බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියේ ය.

රක්ෂිත වටා වනජීවී කාර්යාල සහ බීට්ටු කාර්යාල වැඩිකිරීම මෙන්ම එම කාර්යාලවලට අනුයුක්ත කර ඇති නිලධාරීන් සංඛ්‍යාවත් ඉහළ දැමීම වහා සිදු කළයුතු බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වනජීවී වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි වෘත්තීය සමිති සභාපතිවරයෙක් අවධාරණය කළේ ය.

වනජීවී සම්පත, වාරි සම්පත, සංචාරක විභවය, පුරාවස්තු ආරක්ෂාවට, ඛනිජ සම්පත් ආරක්ෂාවට සහ පාරිසරික සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යෑමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රධාන දායකත්වය ලබාදෙන බවත් නිලධාරි හිඟය නිසා බොහොමයක් දෑ රැකගැනීමේදී ගැටලු මතු වී ඇති බවත් එම නිලධාරියා පෙන්වා දෙයි.

වනජීවී නිලධාරියෙකු පැය 24ක් පුරා රාජකාරි කළ යුතු හෙයින් වෙනත් ආයතනවල නිලධාරීන් මීට අනුයුක්ත කරනවාට වඩා වනජීවී නිලධාරීන් ම මේ සඳහා බඳවා ගැනීම කළයුතු බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ය.

කෙසේ වෙතත්, දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව සිවිල් ආරක්ෂක නිලධාරීන් 5000ක් මීට අනුයුත්ත කිරීමටත් විදුලිවැට නඩත්තු සහායකයන් 4000ක් පමණ ස්ථිර කිරීම සඳහා ක්‍රියා කිරීමට සැරසීමත් නිසා තම ඉල්ලීම් සාධාරණ බව පෙනී යන බවද එම නිලධාරියා සඳහන් කළේ ය.

මෙවන් විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් පැවැතිය ද වනජීවී සංරක්ෂණ කටයුතු හැකි උපරිමයෙන් කළමනාකරණය කර ගනිමින් පැය 24 පුරා රාජකාරි ඉටු කිරීමටත් අඛණ්ඩව දින ගණන් රාජකාරි කටයුතුවල නිරත වීමටත්, අවදානම් සහිත රාජකාරි ඉටු කිරීමටත් වන සත්ත්ව අඩවි ආරක්ෂක, අඩවි සහකාර සහ වන සත්ත්ව නියාමක සහ ක්ෂේත්‍ර සහාකයන් යුහුසුලුව කටයුතු කරන බව කී එම වෘත්තීය සමිති නායකයා සංචාරක කටයුතු සිදුකරමින් රටේ ආර්ථික වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බව ද අවධාරණය කරයි.

Search