සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අත්තනෝමතිකව සහ අනීතිකව පල කරන ලද ස්ථානමාරු සහ අනුයුක්ත කිරීමේ ලැයිස්තු වලට එරෙහිව GMOA වැඩ වර්ජනයක්..

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අත්තනෝමතිකව සහ අනීතිකව පල කරන ලද ස්ථානමාරු සහ අනුයුක්ත කිරීමේ ලැයිස්තු වලට එරෙහිව GMOA වැඩ වර්ජනයක්..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

 

මාධ්‍ය නිවේදනය

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අත්තනෝමතිකව සහ අනීතිකව පල කරන ලද ස්ථානමාරු සහ අනුයුක්ත කිරීමේ ලැයිස්තු වලට එරෙහිව ආරම්භ කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවේ පළමු පියවර සම්බන්ධවයි.

මීට ඉහතදි අප විසින් මාධ්‍ය දැනුවත් කල පරිදි සෞඛ්‍ය අමාත්‍යංශයේ අකාර්යක්ෂමතාවය සහ අනීතික ක්‍රියාකලාපය ඔස්සේ ආයතන සංග්‍රහය සහ පවතින නීති රාමුව නොසලකා හැර කටයුතු කිරීම නිසා මේ වන විට වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු, පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම්, දුෂ්කර සේවා ස්ථාන සඳහා වූ ස්ථාන මාරු ලැයිස්තු, තාවකාලික අනුයුක්ත කිරීම්, විශේෂ අභියාචන සඳහා වූ ස්ථාන මාරු යන ලැයිස්තු සියල්ල ඇනහිට ඇත.

 

මේ හේතුවෙන් දීප ව්‍යාප්තව රෝහල් 200 කට ආසන්න ප්‍රමාණයක් වැසීයාමේ තර්ජනයට ලක් වී ඇති අතර අනිකුත් රෝහල් වල රෝගී සත්කාර සේවා අඩාල වීමේ අවදානමක් ඇති වී ඇත.

මෙහිදි දුෂ්කර සේවා ස්ථාන වල රාජකාරි කටයුතු සිදු කරන වෛද්‍යවරුන්ට සිදු වන අසාධාරණය සහ එම රෝහල් මුහුණ පා ඇති වැසීයාමේ සහ රෝගී සත්කාර සේවා අඩාල වීමේ තර්ජනය සම්බන්ධවත්, පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් පෙර කී අනීතික අනුයුක්ත කිරීමේ ලැයිස්තුව නිසා මුහුණ පා ඇති ගැටළු සම්බන්ධවත් සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද දිනයේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම් මුලස්ථානයේදි පැවැත්විණි.

 

ඒ සඳහා එම කාණ්ඩ නියෝජනය කරමින් 500 කට අධික  වෛද්‍යවරුන් සංඛ්‍යාවක් සහභාගි වූ අතර ඔවුන් සියලු දෙනා මේ අනීතික මාරු වීම් ලැයිස්තු වලට එරෙහිව ඔවුන්ගේ බලවත් විරෝධය ඒකමතිකව ප්‍රකාශ කරන ලදී. මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය සමඟ ඉහත කාණ්ඩ වලට අයත් රට පුරා වෛද්‍යවරුන් 2000 ක් පමණ සම්බන්ධ වී තිබිණි.

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ඊයේ දින සිට අනීතික ස්ථාන මාරු ලැයිස්තු සඳහා පළාත් හා දිස්ත්‍රික් වෛද්‍ය පරිපාලනයෙන් එකඟතා ලබා ගැනීම සඳහා උත්සහ කරමින් සිටියි.

 

මෙය වෛද්‍ය සේවා අධ්‍යක්ෂිකාව විසින් වැරදි ක්‍රමවේදයට අනීතිකව සකස් කරන ලද ලැයිස්තුව නිත්‍යානුකූල කර ගැනීම සඳහා ඇය දරණ අසාර්ථක වෑයමක් බව අපට පෙනී යයි.  නමුත් නිවැරදි ක්‍රමවේදය වන්නේ මාරු මණ්ඩල තුලින් සියලු පාර්ශව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාරු මණ්ඩල අනුමැතිය ලද ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීමයි.

මෙවැනි අත්තනෝමතික සහ අනීතික ක්‍රියාකලාපයන් නිසා වෛද්‍යවරුන්, මහජනතාව මෙන්ම රජයත් අපහසුතාවයට පත් කිරීමේ ක්‍රියාවලියක සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් මේ වන විට නියැලි සිටි. එම වැරදි ක්‍රියාවලියට එරෙහිව අද දින ආරම්භ කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සාධනීය මැදිහත් වීමක් ලැබෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර අගෝස්තු 11 වැනි සදුදා දින පෙ.ව 8.00 ට පෙර එම විසඳුම් ලබා නොදෙන්නේ නම් අගෝස්තු 11 පෙ.ව 8.00 සිට දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට 2025.08.05 වැනි දින රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

 

මෙම ක්‍රියාවලිය හරහා බිඳ වැටෙන සෞඛ්‍ය සේවාවන් වල වගකීම සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරින් විසින් භාර ගත යුතු බව අප තරයේ අවධාරණය කරන්නෙමු.

Search