හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගත්තේ කොටි නායකයෙකුගේ බොරු සාක්ෂියකට – ගම්මන්පිල

හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගත්තේ කොටි නායකයෙකුගේ බොරු සාක්ෂියකට – ගම්මන්පිල

හිටපු නාවික හමුදාපති අත්අඩංගුවට ගත්තේ කොටි නායකයෙකු ලබා දුන්නු බොරු සාක්ෂි මත බව පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඊයේ පැවැති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේදී එසේ පැවසූ ගම්මන්පිල මහතා තවදුරටත් මෙසේද පැවසීය.

හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගත්තේ කොටි සතුටු කරන්න. කොටි නායකයෙකු ලබා දුන්නු බොරු සාක්ෂි මතයි කියන එක ඉතාම පැහැදිලිව තහවුරු වෙලා තිබෙනවා. මේ කතාවේ කොනක මමත් ඉන්න නිසා මේ කතාව රටට කියන්න යැයි රණවිරු ප්‍රජාව මගෙන් ඉල්ලීමක් කළා. මුලින්ම කියන්න ඕනි අද මම කතා කරන තොරතුරු බොහෝ දෙනෙක් දන්නවා. හිටපු නාවික හමුදාපතිවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරලා ඉන්න නිසා තමන් ප්‍රකාශයක් කළොත් අධිකරණයට අපහාසයක් වේවි කියලා බයයි. ඒ නිසා කතා කරන්නේ නෑ. අධිකරණය ඉදිරියේ විනිශ්චයට භාජනය වුණු කාරණයක් පිළිබඳ ප්‍රසිද්ධියේ අදහස් දක්වන්න බෑ. ඒක ඇත්ත. නමුත් චෝදනා ගොනු කරලා නඩු විභාගයක් ආරම්භ වුණාට පස්සේ තමයි අධිකරණයේ විනිශ්චයට භාජනය වුණු කරුණක් වෙන්නේ. තවමත් මේ නඩුවේ චෝදනා ගොනු කරලා නෑ. තවමත් තිබෙන්නේ අධිකරණයේ සහයෙන් අධිකරණයේ අධීක්ෂණය යටතේ කරගෙන යන පොලිස් විමර්ශනයක් පමණයි. ඒ නිසා මේ ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න කවුරුවත් පැකිලෙන්න එපා.

නාවික හමුදාවේ බුද්ධි නිලධාරියෙකු වන ලු‍තිනන් කමාන්ඩර් ක්‍රිශාන් වෙලගෙදර මිනිස් ජාවාරමට සම්බන්ධ බව 2017දී හෙළි වුණාම ඔහුව හමුදා අධිකරණය ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ දානවා. මෙයා ලංකාවෙන් ඔස්ටේ්‍රලියාවට පැනලා රණවිරු දඩයම සඳහා කොටින් වෙනුවෙන් බොරු සාක්ෂි හදනවා. ඔහුගේ ප්‍රධානම ඉලක්කය වෙන්නේ මේ මිනිස් ජාවාරම හෙළිදරව් කළ එවකට නාවික හමුදාවේ ත්‍රිකුණාමල බුද්ධි ප්‍රධානි කොමාන්ඩර් සුමිත් රණසිංහ. 2010 ජූලි 26 දින පොලිස් අත්අඩංගුවෙන් පැන යන ශාන්ත සමරවීර කියන පාතාල නායකයා ත්‍රිකුණාමලයේ ගන්සයිට් කියන නාවික හමුදාවේ රැඳවුම් කඳවුරේ හිටියා කියන එක ලු‍තිනන් කමාන්ඩර් වෙලගෙදරගේ සහ සීඅයිඩියේ සම නිර්මාණයක්.

2010 ජූලි 25 දින ශාන්ත සමරවීර පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. එදින රාත්‍රියේ අසනීප බව පෙන්වූ නිසා රෝහල් ගත කරනවා. 2010 ජූලි 26 දින උදෑසන අලව්ව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරේ රෝහලෙන් පැන යනවා. ඔන්න ඔය පාතාල නායකයා තමන් සමග එකට ගන්සයිට්

කඳවුරේ හිටියා කියලා කොටි නායකයින් ලබා දෙන සාක්ෂි මත පදනම් වෙලා තමයි හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න, හිටපු නාවික බුද්ධි අධ්‍යක්ෂ සුමිත් රණසිංහ ඇතුළු නාවික රණවිරු පිරිසක් අත්අඩංගුවට ගන්නේ. මේ සඳහා හරි අපූරු කතාවක් මේ අය ගොඩ නගා ගන්නවා.

2008 දී අත්අඩංගුව අරගෙන පුනරුත්ථාපනය කරපු බී.එම්. විජයකාන්තන් කියන කොටි සාමාජිකයා බුද්ධි අංශ සාමාජිකයෙකු විධියට නාවික හමුදාවට බඳවා ගන්න වෙලගෙදර කටයුතු කරනවා. කොළඹින් අතුරුදහන් වුණු තරුණයින් 11ක් සහ අලව්වෙන් පැන ගිය පාතාල නායකයා අතුරුදහන් කළේ නාවික හමුදාවයි කියන්න පාවිච්චි කරන්නේ මේ විජයකාන්තන්. වෙලගෙදර සහ දැන් ලංකාවෙන් පැනගොස් ස්විට්සර්ලන්තයේ සිටින නිශාන්ත සිල්වා විජයකාන්තන්ව කාමරයක තබාගෙන සාක්ෂි දෙන්න පුහුණු කරනවා. තමන් සමග හිටිය ශාන්ත ඔහු ගැන තොරතුරු සබන් කොලයක ලියා තමන්ට දුන් බවට සීඅයිඩියට ප්‍රකාශයක් ලබා දීලා. මෙන්න මේ සබන් කොලය භාර දෙන්න කියලා මේ අය විජයකාන්තන්ට කියනවා. ඒ වගේම කොළඹ දී අතුරුදහන් වුණු තරුණයින් 11 දෙනා ගැනත් තොරතුරු ලබා දීලා මේ අයත් තමන් එක්ක හිටියා කියලා කියන්න කියනවා. විජයකාන්තන් විසින් නාවික හමුදාවට එරෙහිව බොරු සාක්ෂි ලබාදෙන්න අකැමැත්ත ප්‍රකාශ කළාම තමන්ව රස්සාවට ගත්තා වගේම රස්සාවෙන් එලවනවා කියලා වෙලගෙදර විජයකාන්තන්ට තර්ජනය කරනවා.

විජයකාන්තන් ඒ අනුව සීඅයිඩියට ගියාම සිංහලෙන් ලියූ ප්‍රකාශයක් ලබා දීලා අත්සන් කරන්න කියනවා. ඔහුට සිංහල ලියන්නත් බෑ, කියවන්නත් බෑ. ඒත් රස්සාව බේරා ගන්න අත්සන් කරනවා. තමන් රැකියාව කරන නාවික හමුදාවට එරෙහිව බොරු සාක්ෂි ලබාදීම ගැන කොටියෙකු වුණත් විජයකාන්තන්ගේ හෘද සාක්ෂිය වැළපෙනවා. ඒ නිසා විජයකාන්තන් මාව සොයා ගෙන ඇවිත් ඇත්තටම සිදුවුණු දේ කියනවා. ඒ අනුව මම කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට විජයකාන්තන්ව ඉදිරිපත් කර 2018 ජනවාරි 2 දින මහෙස්ත්‍රාත්තුමිය ඉදිරියේ ප්‍රකාශයක් සටහන් කරනවා. එතැන දී ඇත්ත කතාව කියනවා. එක පැත්තකින් තමන් නොදන්නා භාෂාවකින් ලියූ ප්‍රකාශයක් තමයි තමන් කියවා තේරුම් ගෙන අත්සන තැබුවා කියා අත්සන් කර තිබෙන්නේ. අනිත් පැත්තෙන් විජයකාන්තන් කඳවුරේ හිටියේ 2008 අග සිට 2009 මුල දක්වා. ශාන්ත අතුරුදහන් වෙන්නේ වඩාත් නිවැරදිව කිව්වොත් පොලිස් අත්අඩංගුවෙන් පැන යන්නේ 2010 ජූලි 26. ඉතින් ඇත්තටම ශාන්ත ගන්සයිට් කඳවුරේ හිටියත් ඒ බව විජයකාන්තන් දකින්න විදියක් නෑ. විජයකාන්තන් කළ ප්‍රකාශය නිසා තමයි කොටි යුද්ධයේ දී නාවික හමුදාවට නායකත්වය දුන් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ සිට රණවිරුවන් විශාල ගණනකගේ දඩයම නවත්වා ගන්න අපට පුළුවන් වුණේ.

Search