පිටරට ගිහින් ට්‍රිලියන ගණන් මුදල් තියෙනවා කියලා කයිවාරුව : ඒත් පැල්වත්ත සහ සෙවනගල රැකගන්න බැරි වෙලා – විපක්ෂ නායකගෙන් චෝදනා

පිටරට ගිහින් ට්‍රිලියන ගණන් මුදල් තියෙනවා කියලා කයිවාරුව : ඒත් පැල්වත්ත සහ සෙවනගල රැකගන්න බැරි වෙලා – විපක්ෂ නායකගෙන් චෝදනා

පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බවත්, විදේශ රටවල ගොස් ට්‍රිලියන ගණනක් මුදල් ඇති බව පවසන ආණ්ඩුවට එම කර්මාන්තශාලා දෙක රැක ගැනීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව බොරු කියමින් ජනතාව නොමග යවන බවටද ඔහු චෝදනා කළේය.

විපක්ෂනායකවරයා මේ බව පවසා සිටියේ පැල්වත්ත සීනි සමාගමේ ගැටළු සාකච්ඡා කිරීම සඳහා ජන්දමධුරාරාමයේදී පැවති හමුවකදී අදහස් දක්වමිනි.

රට සතුව ට්‍රිලියනයක් ඉතිරි කර ඇති බව ආණ්ඩුව පැවසුවද, පැල්වත්ත සීනි සමාගම මාස ගණනක් තිස්සේ ගෙවා නැති අර්ථසාධක අරමුදල් රුපියල් ලක්ෂ 3240ක් ගෙවීමට ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

ඊට අමතරව, ගොවීන්ට සහ සැපයුම්කරුවන්ටද විශාල මුදල් ප්‍රමාණයක් ගෙවීමට ඇති බවත්, බැංකු ණය පවා ගෙවා නොමැති බවත් ඔහු සඳහන් කළේය. “කියන තරම් සල්ලි තියෙනවා නම් මේ ආයතන සුරකින්න බැරි ඇයි?” යැයි ඔහු ප්‍රශ්න කළේය.

සෙවනගල සීනි කර්මාන්තශාලාවද මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ පා සිටින බවත්, ණය සහ අර්ථසාධක ගෙවීමට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. රජය IMF කොන්දේසිවලට යටත්ව කටයුතු කරන නිසා වැට් බද්ද ඉවත් කිරීමට හෝ ස්ප්‍රීතු මිලදී ගැනීමට පියවර නොගන්නා බවටද ඔහු චෝදනා කළේය. නව IMF ගිවිසුමක් ඇති කරන බවට පොරොන්දු වී බලයට පැමිණි ආණ්ඩුව, පෙර රජයේ කොන්දේසිම ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

වත්මන් ආණ්ඩුව අකාර්යක්ෂම සහ අසාර්ථක පාලනයක් බව පවසන විපක්ෂ නායකවරයා, දේශීය සීනි කර්මාන්තය සහ එය මත යැපෙන ගොවීන් සහ සේවකයින් විනාශ වෙමින් යන බවද අවධාරණය කළේය. රජය මේ සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන්නේ නම්, ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයක් ආරම්භ කිරීමට සමගි ජන බලවේගය සූදානම් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Search