කොස්ගොඩ, දූවමෝදර ප්‍රදේශයේ පිහිටි නිවසකටම පැමිණි තුවක්කුකරුවන් විසින් අද (31) අලුයම සිදුකළ වෙඩි තැබීමකින් 23 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය විසින් මියගොස් ඇති පුද්ගලයා අරුත් මෙන්ඩිස් නැමැති 23 හැවිරිදි අයෙකු ලෙස හඳුනාගෙන ඇත
පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ මියගිය තරුණයා, දූවමෝදර ප්‍රදේශයේ කැස්බෑ සංරක්ෂණ සහ පර්යේෂණ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයෙකුගේ පුත්‍රයා බවයි. අද අලුයම 5.15 ට පමණ යතුරුපැදියකින් පැමිණි හඳුනා නොගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී-56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර මෙම ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කර ඇති මියගිය තරුණයා, සිය පියාගේ කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානය වෙත සංචාරකයින් රැගෙන ඒම සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මෙම ඝාතනයට හේතු වන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
ඝාතනයට ලක්වූ තරුණයාගේ මෘත දේහය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා ඇති අතර, බළපිටිය මහේස්ත්රාත්වරයාගේ ස්ථානීය පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බළපිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යාමට නියමිතය. කොස්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.