හොර ජීප් රථයක් මන්ත්‍රී ජගත්ගේ පුතාට විකිණීම: රෝහිතගේ දියණිය අත්අඩංගුවට.. අද අධිකරණයට

හොර ජීප් රථයක් මන්ත්‍රී ජගත්ගේ පුතාට විකිණීම: රෝහිතගේ දියණිය අත්අඩංගුවට.. අද අධිකරණයට

ආන්දෝලනාත්මක ජීප් රථ ගනුදෙනුව සම්බන්ධයෙන් වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායට භාර වූ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධනගේ දියණියගෙන් ඊයේ පැය 10කට ආසන්න ප්‍රකාශයක් ප්‍රශ්න කරමින් ලබා ගැනීමට නිලධාරීන් කටයුතු කර ඇති අතර ඇගේ ප්‍රකාශය සහ මීට පෙර ඇගේ සැමියාගෙන් ලබාගත් ප්‍රකාශ සසඳමින් ඉදිරි විමර්ශන සිදුකෙරෙන බව එම බළකා ආරංචි මාර්ග සඳහන් කළේ ය.

ඊයේ උදෑසන 8:00ට පමණ නීතිඥවරුන් සමග වලාන ප්‍රහාරක ඒකකයට පැමිණි රෝහිත අබේගුණවර්ධනගේ දියණියගෙන් වලාන ඒකකයේ නිලධාරීන් ඊයේ හවස 6:00 වන විටත් ප්‍රශ්න කරමින් ප්‍රකාශ ලබාගනිමින් සිටියේය.

ඇගේ සහ ඇගේ සැමියා විසින් ලබා දුන් ප්‍රකාශ මත ඉදිරි විමර්ශන සිදුකෙරෙන බවත් ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු රෝහිත අබේගුණවර්ධනගේ දියණිය මතුගම පොලිසිය වෙත භාර දීමටත් නියමිතව තිබිණි.

වලාන ඒකකය පැවසුවේ, ඇය අද (ජූලි 31) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ය.

ඇය මතුගම පොලිසියට භාර දීමෙන් පසු මතුගම නගරයේ ආරක්ෂාව තර කිරීමටද පියවර ගෙන ඇති අතර අද දින ඒ අවට සහ අධිකරණ භූමිය තුළ විශේෂ ආරක්ෂාවක් යෙදවීමට ද කටයුතු කරන බව කළුතර කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, මතුගම හා බුලත්සිංහල ප්‍රදේශ කේන්ද්‍රකරගෙන සෝදිසි මෙහෙයුමක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව ය.

මෙම ජීප් රථ ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතානගේ පුත්‍රයා ඉකුත් 19 වන දා වලාන ඒකකය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු අධිකරණයට ඉදිරිපත් කරනතුරු රඳවා සිටියේ මතුගම පොලිසිය භාරයේ ය.

එම මොහොතේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ ආධාරකරුවන් 200ක පමණ පිරිසක් මතුගම පොලිසිය වෙත පැමිණ එහි රැඳී සිටි අතර ඊට අදාළව මතුගම පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට ද චෝදනා එල්ල විය.

ජගත් විතානගේ පුතා අත්අඩංගුවට ගැනීමෙන් පසු ලබාගත් ප්‍රකාශ මත පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධනගේ දියණිය සහ බෑණා සොයා ගැනීම සඳහා විමර්ශනයක් අරඹනු ලැබීය.

එම විමර්ශනයෙන් පසු රෝහිත අබේගුණවර්ධනගේ බෑණා අධිකරණයට භාර වීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඔහුගේ බිරිය සොයා ගැනීමට නිලධාරීන්ට හැකි නොවීය.

එලෙස ඇය සොයා විමර්ශන සිදුකරද්දී රෝහිත අබේගුණවර්ධනගේ දියණිය ඊයේ (ජූලි 30) උදෑසන මෙසේ වලාන ඒකකයට භාර වී තිබුණා ය.

ඒ ජගත් විතානගේ පුත්‍රයා පොලිස් අත්අඩංගුවට පත්ව දින 11කට පසුව ය.

Search