ණය බරින් පීඩිතව සිටි යටිනුවර විපක්‍ෂ නායක එල්ලී දිවි නසා ගනී!! බිරිඳ සහ වැඩිමල් දියණිය පරලොව යවා නිදිපෙති දුන්නත් නින්ද නොගිය බාල දියණියගේ දිවි රැකේ

ණය බරින් පීඩිතව සිටි යටිනුවර විපක්‍ෂ නායක එල්ලී දිවි නසා ගනී!!  බිරිඳ සහ වැඩිමල් දියණිය පරලොව යවා නිදිපෙති දුන්නත් නින්ද නොගිය බාල දියණියගේ දිවි රැකේ

මේ නැතිවෙලා ඉන්නේ මගේ බාප්පා. බාප්පයි පුංචියි හරිම ආදරෙන් ජීවත් වුණේ. එයාල අතරේ කිසිම විරසකයක් තිබුණෙ නැහැ. නමුත් දැන් දින කීපයක සිට බාප්පා ලොකු ප්‍රශ්නයක හිටියේ. අප්පච්චිත් දන්නවා බාප්ප ප්‍රශ්නෙකින් හිටියේ කියලා. හැබැයි මේ වගේ දෙයක් වෙයි කියලා අපි කවුරුත් හිතුවේ නෑ.”

සිය බිරිඳ සහ දාහත් හැවිරිදි වැඩිමහල් දියණිය මරා දමා දිවි හානි කර ගත් බව කියන යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත මහතාගේ ඥාති දියණියක වන මිනෙල් හපුගොඩ මෙනවිය එසේ කියා සිටියාය.

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත මහතා ඊයේ (29දා) අලුයම සිය නිවසේ දී ඔහුගේ බිරිඳ හා දියණිය ඝාතනය කර සියදිවි නසාගත් බවට සැක කරමින් පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. බිරිඳ හා දියණිය ඝාතනය කිරීමෙන් පසු විපක්ෂ නායකවරයා ඔවුන් පදිංචි දෙමහල් නිවසේ මුළුතැන්ගෙයි අසල වූ එළිමහන් කොටසක බාල්කයේ එල්ලී දිවි හානි කරගෙන තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

සියදිවි හානි කරගත් විපක්ෂ නායකවරයා ඔහුගේ 13 හැවිරිදි දියණිය ද ඝාතනය කිරීමට සැලසුම් කර ඇතත් එය ව්‍යර්ථ වී තිබෙන බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්ව ඇත්තේ දිල්රුක්ෂි ජයලත් කුමාරගේ (45) හා ඇගේ දියණිය වූ ශිහාරා ආශිංසනී හපුගොඩ (17) නමැති දෙදෙනාය. මොහු සිය බිරිඳට හා දියණියට නිදිපෙති වර්ගයක් බීමට දී නින්ද ගිය පසු ඔවුන් ඝාතනය කර තිබෙන බවට පොලිසිය සැක කරයි.

සිද්ධිය වූ දිනට පෙරදින (28) මේ පවුලේ බාල දියණිය පාසලේ අධ්‍යාපන චාරිකාවකට ගොස් තිබේ. රාත්‍රියේ පැමිණි ඇය පාසලේ සිට නිවස දක්වා රැගෙන පැමිණ ඇත්තේ ද චම්පික නිලන්ත මහතා විසිනි. ඒ වනවිටත් ඔහු බිරිඳ හා අනෙක් දියණිය ඝාතනය කර තිබී ඇත. බාල දියණියට ද නිදිපෙති වර්ගයක් බීමට දී තිබෙන විපක්‍ෂ නායකවරයා ඇය ඝාතනය කිරීමේ අරමුණින් නිවසේ උඩුමහලට ගොස් ඇතත් එම අවස්ථාවේ දියණිය නොනිදා සිටීම හේතුවෙන් ඔහු එම අදහස අත්හැර තිබෙන බවට පොලිසිය සැක කරයි.

දිවි නසා ගත් ප්‍රා.සභා විපක්ෂ නායකවරයා මහනුවර ව්‍යාපාරිකයකුගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 50 ක ණය මුදලක් ආපසු ගෙවීමට නොහැකිව විශාල පොලී මුදලක් එකතු වීමත්, එම ව්‍යාපාරිකයා නිතර නිතර තර්ජනය කිරීමත් මෙම දිවි හානිකර ගැනීමට හා ඝාතනයට සම්බන්ධ බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිස කලක් යටිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ද හෙබවූ චම්පික නිලන්ත මහතා පසුව සමගි ජනබලවේගය හා එක්විය. පසුගිය පළාත් පාලන මැතිවරණයට සමගි ජන සන්ධානයෙන් ඉදිරිපත් වූ ඒ මහතා කොට්ඨාසය ජයග්‍රහණය කරමින් යටිනුවර ප්‍රාදේශීය සභාවට තේරී විපක්ෂ නායක ධුරයට පත්විය.

විපක්ෂ නායකවරයා ඔහු සතු මෝටර් රථය විකුණා පොලියට මුදල් ලබාගත් ව්‍යාපාරිකයාට පසුගිය මාර්තු මාසයේදී ලක්ෂ 15 ක පමණ මුදලක් ලබා දී තිබෙන බව ද වාර්තා වේ. ඉන් පසුව ද ඔහු දිගින් දිගටම මොහුට කරදර කර තිබෙන බව දැන ගන්නට තිබෙන අතර එහිදී එම ව්‍යාපාරිකයාට ඉහළ පොලිස් නිලධාරියකුගේ සහාය ද හිමිව ඇතැයි දැනගන්නට තිබේ.

එම ගැටලුව ඉක්මනින් විසඳා දීමට එක්තරා නීතිඥයකු මහනුවර ඉහළ පොලිස් නිලධාරියකුට ලබාදීමට බව කියමින් තමාගෙන් රුපියල් ලක්ෂ 05 ක් ඉල්ලා සිටි බව මිය ගිය විපක්ෂ නායකවරයා අවසන් වරට ලියා ඇති ලිපියක සඳහන් වේ.

ඝාතනයට ලක් වූ 17 හැවිරිදි දියණිය සුදු කබර රෝගයෙන් පීඩා විඳ සිට ඇති බවත් ඉන්දියාවට රැගෙන ගොස් ඇයට ප්‍රතිකාර ලබාදීමේ දැඩි වුවමනාවක් විපක්ෂ නායකවරයාට තිබී ඇති බවත් දැනගන්නට තිබේ.

මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මළසිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇත. ජීවිතය බේරාගත් දහතුන් හැවිරිදි දියණිය මේ වන විට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය විමර්ශන සිදු කරයි

Search