අහෝ ඛේදවාචකයක තරම... තැන තැන තවත් අලි මරණ 8ක්:

අහෝ ඛේදවාචකයක තරම...  තැන තැන තවත් අලි මරණ 8ක්:

මිය ගිය අලි ඇතුන් පස් දෙනෙකුගේ සිරුරු ඊයේ (ජූලි 22) පමණක් සොයා ගෙන ඇති අතර තවත් අලි තිදෙනෙකුගේ මළ සිරුරු දඹුල්ල ඉනාමළුව රක්ෂිතය තුළ ඇති බවට වාර්තා විය.

ඒ අනුව, ඊයේ දිනයේදී පමණක් අලි මරණ අටක් පිළිබඳව තොරතුරු හෙළිව තිබිණි.

දඹුල්ල ඉනාමළුව රජයේ රක්ෂිතය තුළ තිබී ඇතෙකුගේ සහ අලින් දෙදෙනකුගේ මළ සිරුරුද මීගලෑව ප්‍රදේශයේ තිබී එක් ඇතෙකුගේ මළ සිරුරක් ද අම්පාර පොතුවිල් පොලිස් බල ප්‍රදේශයේ කනගර්ග්‍රාම් පොතුවිල් 25 ගම්මානයේදී මිය ගිය අලියකුගේ සිරුර ද ඊයේ සොයා ගෙන තිබේ.

දඹුල්ල ඉනාමළුව රජයේ රක්ෂිතයෙන් හමු වූ සිරුරු මාසයකට පමණ ඉහතදී මිය යන්නට ඇති සතුන්ගේ බවට සැක කළ හැකි බව ප්‍රදේශවාසීහු පවසති.

දඹුල්ල ඉනාමළුව රජයේ තේක්ක රක්ෂිතයේ කිලෝමීටරයක් පමණ ඇතුළට ගිය විට, කිලෝමීටර තුනක දුරක් තුළ මේ සිරුරු තැනින් වැටී තිබෙන අයුරු ප්‍රදේශවාසීන් එහි ගිය මාධ්‍යවේදීන්ට පෙන්වා ඇත.

තැනින් තැන එකම ඉරියව්වකින් මියගිය බවට දිස් වූ මේ සිරුරු තුන අතර අලි දෙදෙනෙකුගේ සහ ඇතෙකුගේ සිරුරු ඇති බව සොයා ගෙන ඇත.

මේ අතර ඇතෙකුගේ බවට සැක කරන මළ සිරුරේ දළ යුගලය ඉන් ඉවත් කොට රැගෙන ගොස් ඇති ආකාරය මළ සිරුර පරීක්ෂා කිරීමේදී දැකගැනීමට හැකි වී තිබේ.

බඳින තුවක්කු හා වන අලි ගැවසීම හේතුවෙන් ඉතිරි අලි තිදෙනාගේ මළ සිරුරු ඇති ස්ථානවලට ගමන් කිරීම අවදානමක් ඇති නිසා එම ප්‍රදේශයට ගමන් කළ නොහැකි බව ප්‍රදේශවාසීහු පවසති.

එහෙත් මේ මළ සිරුරු තුනට අමතරව තවත් අලි සිරුරු තුනක් ඒ අවට පවතින බව ඔවුහු පවසති.

වන සංරක්ෂණය දෙපාර්තමේන්තුව මඟින් පාලනය මේ වන රජයේ රක්ෂිතයේ තිබී හමු වූ අලි මළ සිරුරු දැක වන සංරක්ෂණ නිලධාරීන් සීගිරිය වනජීවී කාර්යාලය දැනුවත් කර ඇති බව ද පැවසේ.

සීගිරිය වනජීවී කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක එස්.එස්. මලින්දගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ, වන අලි මරණ තුනක් පිළිබඳව තමන්ට තොරතුරක් ලැබී තිබුණු බව ය.

ඉන් එක් අලි මළ සිරුරක් පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කොට තිබෙන බවත් තවත් එක් මළ සිරුරක් තම කලාපයෙන් පිට සිදු වූවක් බවත් ඔහු සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මළ සිරුරු හයක් පිළිබඳව තමන්ට වාර්තා වී නොමැති බව ද හෙතෙම කීය.

මේ සම්බන්ධයෙන් තවමත් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කොට නොමැති නිසා මරණ සිදු වූ හේතුව නිශ්චිතව පැවසිය නොහැකි බව ද ඔහු සඳහන් කළේ ය.

මේ අතර, මීගලෑව ප්‍රදේශයේ තිබී තවත් ඇතෙක්ගේ මළ සිරුරක් හමුව ඇත. අවුරුදු විස්සක පමණ වයසේ පසුවන හස්තියෙක් වන මේ සත්ත්වයා වෙඩි තබා ඝාතනය කරන්නට ඇතැයි සැක කෙරෙන බව වනජීවී නිලධාරීහු පවසති.

එමෙන් ම, අම්පාර පොතුවිල් පොලිස් බල ප්‍රදේශයේ කනගර්ග්‍රාම් පොතුවිල් 25 ගම්මානයේදී සොයා ගත් අලි මළසිරුර විදුලි සැර වද්දවා සිදුකළ ඝාතනයක් බව හෙළිව ඇත.

එම ගම්මානයේ පදිංචි පුද්ගලයෙකු සිය කුඹුරේ ආරක්ෂාවට ඇද තිබූ විදුලි රැහැනක ගැටී අලිය මිය ගොස් ඇති අතර එම ඝාතනය සම්බන්ධයෙන් එම නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

මියගිය අලියා වයස අවුරුදු විස්සක පමණ සත්ත්වයෙක් බවත් විදුලිසැර වැදීමෙන් ඇති වූ කම්පනය හේතුවෙන් මරණය සිදුව ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අම්පාර වනජීවී පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර සඳහන් කළේ ය.

මේ අතර, දිගින් දිගට ම සිදුවන අලි-ඇතුන් ඝාතනය කිරීම් තවමත් පැහැදිලිවම කරුණු ඉදිරිපත් කළ නොහැකි කුමන්ත්‍රණයක් ද යන්න සැකයක් මතුවන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි පැවසීය.

මේ සම්බන්ධයෙන් තමන්ට ද යම් යම් තොරතුරු ලැබී ඇති නිසා ඒවා සනාථ කොට ගැනීමෙන් පසුව අලි ඝාතන කුමන්ත්‍රණයක්ද යන්න පිළිබඳව හැකි ඉක්මණින් හෙළි කරන බවද ඔහු අවධාරණය කළේ ය.

වෙඩි තබා අලි ඝාතනය කිරීම පිළිබඳව සොයා බලන්නැයි ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පසුගිය දා පැමිණිල්ලක් ගොනු කළ බව ද අමාත්‍යවරයා පැවසීය

Search