කොළඹ වරාය නගරය (පෝර්ට් සිටි) පිළිබඳව විශාල භීතියක් මැවුවද මේ වන විට ජනාධිපතිවරයා රටටම හොරෙන් පුද්ගලික සමාගම් හතරකට බදු සහන රැසක් ලබා දී ඇතැයි විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) පැවසීය.
මේ ආණ්ඩුවේ සිටින අය පෝර්ට් සිටි එක ගැන විශාල භීතියක් විපක්ෂයේ සිට එදා මැවුවා. මීගමුව දක්වා මුහුදු වෙරළ යටවෙනවා කියලා කතෝලික ජනතාව භය කළා. ඒත් දැන් කිසි ප්‍රශ්නයක් වෙලා නෑ. ඒ වගේ භය කිරීම් ගණනාවක් කළා. ඒත් දැන් පෝර්ට් සිටි එකට හොරෙන්ම බදු සහන දීලා. ජනාධිපතිතුමා ජූලි මාසයේ විශේෂ ගැසට් පත්‍රයකින් සිලෝන් රියල් ස්ටේ්‍රට් හෝල්ඩින් ආයතනයට අවුරුදු 35කට බදු දෙනවා. ඒ වගේම ක්ලෝත් ෂිපින් මැනේජ්මන්ට් ඇන්ඩ් ඩිවොලොප්මන්ට් සමාගමට, අයිඑෆ්සී කලම්බු පුද්ගලික සමාගම සහ අයිසීසී පෝර්ට් සිටි පුද්ගලික සමාගමටත් විශාල බදු සහනයක් දී තිබෙනවා. ඒත් ජූලි 01 දිනයට බදු සහන දීමක් ගැන සඳහන් වෙන්නේ නෑ. එමෙන්ම ජුලි 07 කැබිනට් තීරණයෙත් මේ ගැන සඳහන් වෙන්නේ නෑ. මුළු රටටම මේක හංගලා තිබෙන්නේ. තමුන්නාන්සේලා මොනවාද දුන්නේ කියලා අපට කියන්න. රාජපක්ෂලා ඒවා දුන්නා, මේවා දුන්නා බදු සහන දුන්නා කියලා කයිය ගහලා අවසානේදී අයිඑම්එෆ් එකත් කියනවා බදු සහන දෙන්න එපා කියලා. හැබැයි තමුන්නාන්සේලා බදු සහන දෙනවා. මේ දෙන්නේ පෝර්ට් සිටි එකට විරුද්ධ වුණු අය. සුරා බදුවලින් නිදහස්, රේගු බදු, වැට් බදු, වරාය ගුවන් තොටුපළ සංවර්ධන, පැල්, අපනයන සංවර්ධන පනත, කම්කරුවන්ගේ වැඩ අවසන් කිරීමේ පනතින් නිදහස්, විදේශ විනිමය පනතින් නිදහස්, මේ ඔක්කොම බදුවලින් නිදහස් කරලා.