ආණ්ඩුවේ සූරයෝ සහ ජගතෝ තාම නටන්නේ IMF පදේට”

ආණ්ඩුවේ සූරයෝ සහ ජගතෝ තාම නටන්නේ IMF පදේට”

ජාත්‍යන්තර ආයතන කියන කියන පදයට නටන රූකඩ ආණ්ඩු තුළින් ගොවියාගේ, කර්මාන්තකරුවාගේ, තරුණ තරුණියන්ගේ හා ජනතාවගේ ගැටලු විසඳෙන්නේ නැති බැවින් කොන්ද පණ ඇති ආණ්ඩුවක් රටට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

‘සූරයෝ’ සහ ‘ජගතෝ’ යැයි කියූ වත්මන් රජයේ මැති ඇමැතිවරු අයි.එම්.එෆ්. පදේට නටන්නේ නැති බව පැවැසුවත් අන්තිමේ අයි.එම්.එෆ්. පදේට ම නටමින් රට තවත් ආර්ථික මර උගුලක් කරා ගෙන යන බව විපක්ෂ නායකවරයා පැවසීය.

ඒ අනුව, ආණ්ඩුව බොරුවෙන්, විජ්ජාවෙන් සහ මුළාවෙන් රට ගෙනියන බවට විපක්ෂ නායක චෝදනා කළේ ය.

ලබන 2028 වන විට නැවත වරක් විදේශ ණය ගෙවීමට සිදුවන බවත් ඒ සඳහා සියයට 5ක ආර්ථික වර්ධනයක් තබාගත යුතු වුවත් මේ වසරේ සියයට 3.5ක් සහ ලබන වසරේ එය සියයට 3.1ක් ලෙස පුරෝකථනය කර ඇති බව විපක්ෂ නායක පැවසීය.

ඒ අනුව, අයි.එම්.එෆ්. ගිවිසුමේ වෙනසක් අවශ්‍ය බවත් විදේශ ණය ගෙවන වසර වෙනස් කර ගත යුතු බවත් එය 2033 කළ යුතු බවත් විපක්ෂ නායක අවධාරණය කළේය.

එසේම නූතන ලෝකයේ ව්‍යවසායකයන් ලෙස ඉදිරියට යෑමට ශ්‍රී ලංකාවේ තරුණ, තරුණියන්ට මාර්ගයක් නොමැති බවත් ආණ්ඩුව තිබෙන මාර්ග වුව අවහිර කරමින් යන බවත් ඔහු පැවසීය.

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් පවා අද අසරණ වී ඇති බවත් තරුණයන් ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් කිරීම වෙනුවෙන් රජයට වැඩපිළිවෙලක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය රටේ ව්‍යවසායන්, තරුණයන් බොරුව තුළින් අතරමං කර ඇති නමුත් සමගි ජන බලවේගයට වැඩපිළිවෙලක් ඇති බව විපක්ෂ නායකවරයා පැවසීය.

එහෙත් දැන් කළ හැකිව තිබෙන්නේ ජනතාවගේ ප්‍රශ්න සටහන් කර ගෙන පාර්ලිමේන්තුවේ ගැටලු ලෙස ඉදිරිපත් කර විසඳුම් ලබා ගැනීම බව විපක්ෂ නායකවරයා පැවසීය.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇඟලුම් කම්හල් 200 හරහා රටට ඩොලර් ගෙන ආවත් අද වන විට වත්මන් රජය නිසා රටේ අපනයන කඩා වැටෙන බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය

Search