2028 ණය ගෙවන්න තිබෙනවා. ඒත් තවමත් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ බදු ගැටලුවලට රජයෙන් විසඳුමක් නෑ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

2028 ණය ගෙවන්න තිබෙනවා. ඒත් තවමත් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ බදු ගැටලුවලට රජයෙන් විසඳුමක් නෑ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අප රටේ අපනයන විශාල ප්‍රමාණයක් ඇමෙරිකානු වෙළෙඳ පොළට යොමුවන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරක බදු නිසා අප රටේ අපනයනවලට විශාල තරගයක් ඇතිව තිබෙන බවත් තවත් රටවල් ද මේ බදුුවලට මුහුණ දීමට එම රටවල නායකයන් ඇමෙරිකාවේ ආර්ථිකය ගැන තීන්දු ගන්නා අය සමග කතා කර අවබෝධතා ගිවිසුම් ඇති කර ගත්තත් අප රටේ ආර්ථිකය බාර අය කර්මාන්ත ක්⁣ෂේත්‍රයේ අය එවැනි ගිවිසුම්වලට එළැඹ නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ගැන සමගි ජන බලවේගය ප්‍රශ්න කරන විට දූත කණ්ඩායම් යවනවායැයි ගිහින් සාකච්ඡා කරනවායැයි රජය පුරසාරම් දෙඩුවත් අද වෙන තුරු මේවාට විසදුම් නැති බවත් අප රටේ අපනයනය ක්ෂේත්‍රයට තර්ජනයක් සිදුව ඇති මොහොතක මේ වැඩ බැරි ආණ්ඩුව කටවහන් සිටින බවත් මේ රජයට උත්තර විසදුම් ලබා දෙන්න බැරි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කලාවැව ධීවර ගම්මානයේ පැවැති විපක්ෂ නායක ජංගම සේවාව හා එක්වෙමිනි.මෙහි දී එම ගම්මානයේ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සිදුවිය.*

රටක් ලෙස 2028 විදේශ ණය ගෙවන්න සිදුවන බවත් පසුගිය රජය ඇති කර ගත් IMF ගිවිසුම වත්මන් රජයද ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන බවත් මෙවැනි අපනයන ගැටලු තිබියදී විදේශ ණය ගෙවන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් ණය ගෙවන්න නම් ආර්ථික වර්ධනය 5%ක් විය යුතු වුවත් පුරෝකථනය කරන ආකාරයට මේ වසරේ ආර්ථික වර්ධනය වේගය 3.5% සහ ලබන වසරේ 3.1% විය හැකි බවත් 2028 ණය ගෙවන්න නම් 5%ක් කරා යා යුතු වුවත් මේ රජය අපනයන ක්ෂේත්‍රයට නිසි වටිනාකමක් නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇඟලුම් කම්හල් 200 හරහා රටට ඩොලර් ගෙන ආවත් අද වන විට වත්මන් රජය නිසා අප රටේ අපනයන කඩා වැටෙන බවත් මොවුන්ට තවමත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සමග ගිවිසුමකට එන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටේ මහජන නියෝජිතයන් මැතිවරණ සමයේ ජනතාවට අතරට ගොස් ඡන්දය ලබා ගෙන මැතිවරණයෙන් පසු බලය ලබා ගෙන ජනතාව අමතක කරන බවත් එය තමා වෙනස් කර ඇති බවත් අප රටේ මේ වන විට ජනතා ගැටලුවලට ඇහුම්කන් නොදීම විසදුම් නොලැබීම සහ ප්‍රශ්නවලට උත්තර නොලැබීම නිසා හිඩසක් නිර්මාණය වී ඇති බවත් මේ ප්‍රදේශයේ ජනතාවද ගැටලු රැසකට මුහුණ දෙන බවත් වත්මන් රජයවත් ඒවා අවබෝධ කර නොගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද වන විට ජනතාවට ජීවත් වීම අමාරු බවත් එදිනෙදා වේල් තුන පිරිමහගන්න නොහැකි බවත් ⁣නිශ්චිත ආදායම් මාර්ග නොමැති වීම නිසා සෑම පුද්ගලයකුම ණය කරුවන් බවට පත්ව ඇති බවත් දේපල කණකර පවා උකස් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සංචාරක කර්මාන්තය ගොවිතැන හෝ ධීවර කර්මාන්තය හෝ වේවා මේවා තුළින් උසස් ජීවන මට්ටමක් ඇති ජන ජීවිතයක් නිර්මාණය කරන්න හැකියාවක් නොමැති බවත් ජනතාවට ඔප්පු හා බලපත්‍ර පවා නොමැති බවත් නිවසේ ඉඩමේ ප්‍රාග්ධන වටිනාකම නොමැති නිසා දියුණුව ද අවහිර වන බවත් මේ ජනතාවගේ ඉඩම් නිවාස ගැටලුවලට විසදුම් ලැබී නොමැති බවත් වනජීවී ක්ෂේත්‍රය ආශ්‍රිතව සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක කරන්න හැකි වුවත් එය ද නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

  මේ ජනතාවගේ ප්‍රශ්න සටහන් කර ගෙන පාර්ලිමේන්තුවේ මේ ගැටලු ඉදිරිපත් කර විසදුම් ලබා ගන්නා බවත් ඊට අමතරව සමගි ජන බලවේගයට විපක්ෂයක් ලෙස කළ හැකි විසදුම් ලබා දෙන්නද කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Search