කහවත්තේ උනුසුම් තත්ත්වයක්.. පොලිසියෙන් කඳුළු ගෑස්

කහවත්තේ උනුසුම් තත්ත්වයක්.. පොලිසියෙන් කඳුළු ගෑස්

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදීම හේතුවෙන් ඝාතනය වූ බව පැවසුණු කහවත්ත ප්‍රදේශයේ තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) පස්වරුවේ පවුලේ සුසාන භූමියේදී සිදු කෙරුණි.

එලෙස ඝාතනයට ලක්ව තිබුණේ 22 හැවිරිදි ඉමන්ත සුරංජන් නැමති තරුණයෙකි.

එම තරුණයාගේ අවසන් කටයුතුවලින් පසු පොලීසිය සහ ගම්වාසීන් අතර අද පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

වාර්තා වන ආකරයට පොලිස් නිලධාරීන් 150ක පමණ පිරිසක් මෙහිදි අදාළ ගම් ප්‍රදේශය ආශ්‍රිතව ආරක්ෂාව සඳහා යොදා තිබියදී මේ තත්ත්වය හටගෙන තිබේ.

එහිදී ඝාතනයට ලක්වූ තරුණයාගේ ඥාතීන් සහ ගම්වාසීන් පොලීසියට දෝෂාරෝපණය කරමින් ගල් මුල් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

එම ප්‍රහාර හමුවේ පොලීසිය ප්‍රදේශයෙන් ඉවත්වී ඇති අතර පසුව අනු ඛණ්ඩ යොදවා ගම්වාසීන් පාලනය කිරීමට පහරදීම් සහ කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ලකර ඇත.


මේ අතර අදාළ තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති පුද්ගලයාගේ නිවසේ තිබූ ත්‍රීරෝද රථයකට කිසියම් පිරිසක් විසින් ගිනිතබා ඇති බවද වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මේ වන විට ප්‍රදේශය පුරා පොලිසිය යොදවා ඇති අතර ඊට අතිරේක බලඇණි සහායද ගෙන ඇත.

පසුගිය 30 වනදා රාත්‍රීයේ කහවත්ත, බුංගිරිය, පලන්සූරියගම ප්‍රදේශයේ නිවසක සහෝදරයන් දෙදෙනෙකු තවත් තරුණයෙක් කතාබහ කරමින් සිටියදී මෙම සිද්ධියට මුහුණදී තිබුණි.

එහිදී පොලීසිය ලෙස පෙනී සිටි කණ්ඩායමක් විසින් තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් එක් තරුණයෙකු වෙඩිතබා ඝාතනය කර තිබුණි.

පැහැර ගැනුණු අනෙක් තරුණයා වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල සහිතව රොහල්ගත කෙරුණි.

මේ ඝාතන සිදුවීම සිදුවන විට කහවත්ත පොලිසිය භාරව සිටි ස්ථානාධිපතිවරයාව යාපනයට මාරුකර යවා තිබේ.

Search