බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියට එරෙහිව සීතාවක මන්ත්‍රීවරු උසාවි යති

බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියට එරෙහිව සීතාවක මන්ත්‍රීවරු උසාවි යති

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති ධූරවලට සුදුස්සන් පත්කිරීම සඳහා විවෘත ඡන්දයක් පවත්වන ලෙසට මන්ත්‍රිවරුන් බහුතරයක් එනම් 24 දෙනෙකු ලිපියක් භාර දී තිබියදීත් එය නොතකා රහස් ඡන්දයක් පැවැත්වීමට පළාත් පාලන කොමකරීස්වරිය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම සඳහා ලබන 7 වන දා කැඳවීමට අභියාචනාධිකරණය දින නියම කළේ ය.

බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර පසුගිය 17 වන දා රහස් ඡන්දයක් පැවැත්වීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් පක්ෂ-විපක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක් ගොනු කර තිබූ එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි කළ කරුණු දැක්වීම සලකා බැලූ අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය හා කේ. ප්‍රියන්තප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල එකී නියෝගය කළේ ය.

එකී තනතුරුවලට සුදුස්සන් තෝරා ගැනීම සඳහා සිය සභාව පසුගිය 17 වන දා කැඳවූ බවත් සභාවට තෝරා පත්වූ මන්ත්‍රිවරුන් බහුතරයක් එනම් 24 දෙනෙකු ලිඛිතව ඉල්ලීමක් කරමින් විවෘත ඡන්දයක් පවත්වන ලෙසට ඉල්ලීමක් කළ නමුත් පළාත් පාලන කොමසාරිස්වරිය රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය කිරීම නිසා එම තීරණයට විරුද්ධත්වය දක්වමින් මන්ත්‍රිවරුන් 24 දෙනෙකු සභා ශාලාවෙන් පිටව ගිය බවත් සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ නියෝජනය කළ මන්ත්‍රිවරුන් සමගින් අභියාචනාධිකරණයට පෙන්වා දී තිබිණි.

පළාත් පාලන කොමසාරිස්වරියගේ එකී තීරණය මහජන මතයට සම්පූර්ණයෙන් ම පටහැනි ක්‍රියාවක් බවත් සභා මන්ත්‍රීවරුන් නියෝජනය කරනුයේ ප්‍රදේශයේ ජනතාව වන බැවින් එයට එකඟතාව පළ කිරීම රාජ්‍ය නිලධාරීනියක වශයෙන් ඇයගේ වගකීම වන බවත් විනිසුරු මඩුල්ලට පෙන්වා දුන් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ලබන 5 වන දා නැවත රැස්වීමට නියමිත සභා රැස්වීමේදී විවෘත ඡන්දයක් පැවැත්වීමට බල කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

රහස් ඡන්දයක් පැවැත්වීමට පළාතේ පාලන කොමසාරිස්වරීය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ද විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේ ය.

Search