විපක්ෂයට බහුතර සභික සංඛ්‍යාවක් හිමි වූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ඒකාබද්ධ විපක්ෂයක් ලෙස කටයුතු කරන බව විපක්ෂයේ ප්‍රධාන පක්ෂවල මහලේකම්වරු පවසති.
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂවල මහලේකම්වරුන් විසින් ඊයේ (12) බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් විය. සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, පොදු ජන එක්සත් පෙරමුණේ මහලේකම් ලසන්ත අලගියවන්න, එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මෙහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසුවේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පොදු විපක්ෂයක් හැටියට ක්‍රියා කිරීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකතු වූ බවයි. ජනතාව අපෙන් බලාපොරොත්තු වන අපේක්ෂාව ඉටු කිරීම සඳහා ඉදිරි පළාත් පාලන කොට්ඨාස මට්ටමෙන් අපි එකට එකතු වෙලා ජනතා අභිලාස වෙනුවෙන් පෙළගැසිය යුතුයි කියලා දේශපාලන පක්ෂ ගණනාවක් තීරණය කළා.
ඒ අනුව අපි ආයතන පිහිටු වීමට එකතු වෙලා තියෙනවා. මේ මොහොතේ මා සමග සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන ප්‍රධාන පක්ෂ ලේකම්වරුන් සිටිනවා. වතුකරේ දේශපාලන පක්ෂ සහ මුස්ලිම් දේශපාලන සංවිධාන ස්වාධීන කණ්ඩායම් ගණනාවකුත් මේ මොහොතේ සාකච්ඡා කරමින් තිබෙනවා. ඒ සියලු දෙනාගේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් හැටියට ඊයේ සිට ආරම්භ කළ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ කටයුතු ආරම්භ කළා. බලය පිහිටු වන්නේ ඒකාබද්ධ විපක්ෂයක් හැටියටයි. පොදු විපක්ෂයක් හැටියට යැයි ද හෙතෙම කීවේය.
නෙරංජලා වික්‍රමසිංහ