වෙසක් පෝයදා ජනපති පොදු සමාව දුන් සිරකරු නාම ලේඛනයේ ප්‍රශ්නගත ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න නමැති සිරකරුගේ නම ඇතුළත් නොවන බව පිළිගත් සැකකාර අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරවින්ද හබක්කල මහතා වසර කිහිපයට පෙර අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති
චක්‍රලේඛයේ සදහන් නීතිමය ප්‍රතිපාදන මත ඔහු නිදහස් කිරීමට පියවර ගෙන ඇතැයිද අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා හමුවේ ඊයේ (11) පැවසීය.
මූල්‍ය වංචා නඩුවකට වරදකරු වූ රැඳවියකු වෙසක් පෝය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇතැයි දැනුම් දෙමින් අනුරාධපුර මහාධිකරණයට කූට ලේඛනයක් ඉදිරිපත් කරන ලදැයි කියමින් රිමාන්ඩ් බාරයේ රඳවා සිටින අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේ ඉදිරිපත්වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුට ඇප නියම කිරීම ප්‍රතික්ෂේප කළ අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා, ලබන 13 වැනිදා දක්වා ඔහු තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කළේය.
ජනාධිපතිවරයා සමාව දී නොතිබූ අනුරාධපුර මහාධිකරණයේ පැවති එසී 69/2018 අංක දරන නඩුවේ විත්තිකාර ඩබ්.එම්. අතුල තිලකරත්න නමැති විත්තිකරුට ජනාධිපති පොදු සමාව දී ඇති බවට සිය අත්සනින් යුතු ලිපියක් මඟින් අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කර ඇතැයි කියමින්
සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර බන්ධනාගාර අධිකාරී මෝහාන් කරුණාරත්න මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේය.ජනාධිපති ලේකම් කාර්යාලය කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇත.
සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් 5 ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු, අනුරාධපුර මහාධිකරණයේ පැවැති එච් සී 692018 අංක දරන නඩුවේ විත්තිකරු වන විජයකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න නමැත්තාට ඉකුත් වෙසක් පෝය දින ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇති බවට සැකකරුගේ අත්සනින් යුතු කූට ලේඛනයක් මහාධිකරණයට ඉදිරිපත් කරමින් දැනුම් දී ඇතැයි පැවසූහ.
පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය කරුණු දක්වමින්, ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න නමැති විත්තිකරුගේ තම ජනාධිපතිවරයා විසින් වෙසක් පොහොය දින ජනපති පොදු සමාව යටතේ නිදහස් කරනු ලැබූ සිරකරුවන්ගේ නාම ලේඛනයේ නොමැති යැයි කීවාය.
ජනපති පොදු සමාව ලබාදීමට සුදුසුකම් ලබා ඇති සිරකරුවන්ගේ නාම ලේඛනයක් දිවයිනේ සෑම බන්ධනාගාරයකින්ම ජනාධිපතිවරයා වෙත ගෙන්වා ගන්නේ යැයිද, එම ලේඛනය අදාළ බන්ධනාගාරවල අධිකාරිවරුන් සිය අත්සනින් යුතුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යැවිය යුතු යැයිද, පසුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අදාළ ලේඛනය අත්සන් කර අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යැවිය යුතු යැයිද කී අතිරේක සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් අදාළ ලේඛනය අත්සන් කර ජනාධිපති ලේකම්වරයා මගින් ජනාධිපතිවරයා වෙත යොමු කළ යුතු යැයිද කීවාය.
ඒ අනුව ජනපති සමාව යටතේ නිදහස් කළ යුතු බවට අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා යවා ඇති ලේඛනයේ ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න නමැත්තාගේ නම සඳහන්ව නැති බව අවධාරණය කළ සුහර්ෂි හේරත් මහත්මිය,
එම පිළිවෙළටම ජනාධිපති ලේකම් කාර්යාලයෙන්ද අනුරාධපුර බන්ධනාගාර වෙත එවා ඇති ජනපති පොදු සමාව ලබා දිය යුතු සිරකරු නාම ලේඛනයේ අතුල තිලකරත්න නමැත්තාගේ නම සඳහන්ව නැතැයිද පැවසුවාය. ජනපති පොදු සමාව දෙමින් අනුරාධපුර බන්ධනාගාරයට එවා ඇති ලේඛනයේ ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න නමැත්තාගේ නම සඳහන්ව නැතත්, අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරු ලේඛනයේ ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්නගේ නම ඉදිරියෙන් සැකකරු නිදහස් යනුවෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා විසින් සලකුණු කර සිය අත්සන තබා ඇතැයි පැවසූ සුහර්ෂි හේරත් මහත්මිය, එම තත්වය යටතේ ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න නමැත්තා නිදහස් කිරීම චේතනාන්විතවම කළ අපරාධමය වරදක් බවට සැකකරන්නේ යැයිද පැවසුවාය.
පොදු සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බවත්, ඉන් බැහැරව සිරකරුවන් නිදහස් කිරීමට හෝ නිදහස් කිරීමට අනුමැතිය දීමට කිසිවකුට බලයක් නැති බවත් අවධාරණය කළ අතිරේක සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය, සිද්ධිය සම්බන්ධයෙන් තවදුටරත් විමර්ශන කරන හෙයින් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියාය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරවින්ද හබක්කල මහතා කරුණු දක්වමින්, වෙසක් පොහොයදා ජනපති පොදු සමාව ලබා දුන් අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරු නාම ලේඛනයේ ඩබිබ්ලිව්.එම්. අතුල තිලකරත්නගේ නම් ඇතුළත් නොවන බව පිළිගන්නා නමුත්, මීට වසර කිහිපයට පෙර අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් නීතිමය ප්‍රතිපාදන මත අතුල තිලකරත්න
නමැත්තා නිදහස් කිරීමට තම සේවාදායකයා පියවර ගෙන ඇතැයි කීය.
අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍ර ලේඛය අනුව සිරකරුවකු නිදහස් කරමින් රාජකාරියක් කළ තම සේවාදායකයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන්නේ නම් අදාළ චක්‍ර ලේඛය නිකුත් කළ අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයාද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු යුතු යැයි කී නීතිඥ අරවින්ද හබක්කල මහතා, මෙතන සිදුව ඇත්තේ ජනාධිපති පොදු සමාව සහ ජනාධිපති විශේෂ පොදු සමාව පටලවා ගැනීමක් මෙන්ම චක්‍රලේඛ වැරදි සහගත ලෙස වටහා ගැනීමක් බවද පෙන්වා දුන්නේය.
කරුණු සැලකිල්ලට ගෙන ඕනෑම ඇප කොන්දේසියක් යටතේ තම සේවාදායකයා මුදාහරින්නැයි නීතිඥ හබක්කල මහතා අයැද සිටියේය. පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය පෙනී සිටි අතර, සැකකරු වෙනුවෙන් නීතිඥවරුන් වන කාලිංග රටින්දු, නලීන් දිමුතු බණ්ඩාර, මධාරා විජේසිංහ. චතුර ධනංජය රණතුංග, සංජය රත්නායක, සුනන්ද තෙන්නකෝන් සහ සුසිල් සිරිවර්ධන යන මහත්ම මහත්මින් ඇතුළු නීතිඥ කණ්ඩායමක් සමඟ නීතිඥ අරවින්ද හබක්කල මහතා පෙනී සිටියේය.
(උපාලි ආනන්ද)